
පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීම ඉබි ගමනේ
- Sujeewa Senerath
- September 16, 2025
- දේශපාලන, පුවත්
- 0 Comments
පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරනු ලබන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 5ක් මෙම දෙවන අදියර යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඒ යටතේ අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, හම්බන්තොට, රත්නපුර යන රෝහල් වෙත නවීන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ලබාදීමට සැලසුම් කර ඇත. මෙම දෙවන අදියර යටතේ 2013 වර්ෂයේදී මෙම යන්ත්‍ර පහ මිලදී ගැනීමට සැලසුම් කලත් පැවති රජයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතිවූ ගැටලු හේතුවෙන් එම මිලදී ගැනීම 2024 වර්ෂය වනතුරුත් සිදුකර ගත නොහැකිි විය.
නමුත් නව රජය පත්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ සහ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මැදිහත්වීම මත 2025 ජනවාරි මාසයේදී කැබිනට් අනුමැතිය ලබාදීම සිදු කරන ලදී. මේ සඳහා රජය වැය කිරීමට වෙන්කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10 කට ආසන්න වෙයි.
ජනවාරි මාසයේදී රජය විසින් කැබිනට් අනුමැතිය ලබාදී මිලදී ගැනීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දුන්නද මේ වනතෙක් එම ණයවර ලිපි විවෘත කිරීම සිදුකළ නොහැකි වී ඇත්තේ මෙම යන්ත්‍රවලට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය නොලැබීමෙන් බව වාර්තා වී ඇත.
දැනට කොබොල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර පමණක් පවතින අනුරාධපුර සහ බදුල්ල රෝහල් වල විකිරණ ප්‍රභවයන් ක්ෂය වීම හේතුවෙන් ඉදිරි මාස කීපය තුළදී විකිරණ ප්‍රතිකාර නවතා දැමීමට සිදුවන අතර මෙම යන්ත්‍ර මිලදී ගැනීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් එම රෝහල් දෙකෙහි රෝගීන් දැඩි අපහසුතාවයන්ට ලක්වනු ඇත. එසේම පිළිකා රෝගීන්ට කඩිනමින් ප්‍රමාදයකින් තොරව විකිරණ ප්‍රතිකාර සිදුකිරීමේ සඳහා මෙම යන්ත්‍ර මිලදී ගැනීමට සැලසුම් කර ඇතත් තවමත් එම කටයුතු සිදු නොවීම බරපතල තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැක.
කැබිනට් අනුමැතිය ලැබී මාස 8ක් ගතවී ඇතත් අදාල ආයතන මගින් ලබා දියයුතු අනුමැතීන් ප්‍රමාද කිරීම හෝ අදාළ බලධාරීන්ගේ ප්‍රමාදයන් රෝගීන්ගේ ප්‍රතිකාර සේවා අඩාළ කිරීමට සහ ප්‍රමාද කිරීමට මේ වන විට හේතු වී ඇත. රජය විශාල මුදල් ප්‍රමාණයක් පිලිකා ප්‍රතිකාර සදහා වෙන් කර තිබුනත් එහි ප්‍රතිඵල රටේ ජනතාවට භුක්ති විඳීමට නොහැකි වන්නේ මෙවැනි රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙනි. මේ පිලිබදව කඩිනම් අවධානය යොමු කරන ලෙස අතිගරු ජනාධිපතිතුමන් ගෙන් සහ සෞඛ්‍ය ඇමතිතුමන්ගෙන් ඉල්ලා සිටි.
| චානක ධර්මවික්‍රම | සභාපති |රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය