
බටලන්ද අමතක කරමු
- Sujeewa Senerath
- March 17, 2025
- දේශපාලන
- anurudha-pradeep-karnasuriya, batalanda
- 0 Comments
කාලෙකට පස්සේ පෝස්ට් එකක් දාන්න හිතුවේ මේක ලිවිය යුතුම නිසයි. දැනට මතුවෙලා තියෙන “බටලන්දේ ඝාතකයන්ට දඬුවම් දෙනු” කියන ව්‍යාපෘතිය නිෂ්ඵල, නොවැදගත් සහ සමහරවිට ඉතාමත්ම හානිකර ප්‍රතිඵල ඇතිවිය හැකි එකක් කියන එක කියන්නයි මේක ලියන්නේ.
මම රනිල් වික්‍රමසිංහට කොයි තරම් විරුද්ධද කියන එක දන්න අය දන්නවා. ඒක අමුතුවෙන් මෙතන විස්තර කරන්න දෙයක් නැහැ.
නමුත් රනිල් වික්‍රමසිංහට විරුද්ධව මේ ගෙනෙන බටලන්ද චෝදනාව වැඩකට නැති දෙයක්. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මිනී මරලා නෑ හෝ මිනිසුන්ට වද හිංසා කිරීමෙන් වින්දනයක් ලබලා නෑ කියන එක නෙවෙයි. ඇත්තෙන්ම මම ඒ ගැන දන්නේ නෑ. රනිල් එහෙම කරන්නත් ඇති සමහරවිට නොකරන්නත් ඇති. මම කියන්නේ ඒක හොයලා දැන් තේරුමක් නෑ කියන එකයි.
බටලන්දත් අයිති වන 88, 89 කියන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේ තියන අඳුරුතම කාල පරිච්ඡේදය වෙන්න පුළුවන්. ඉතාමත්ම කෙටියෙන් කිව්වොත් ඒක ජනතා විමුක්ති පෙරමුණ සහ එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව අතර පැවති මිනී මැරීමේ තරගාවලියක්. ඒ කියන්නේ දෙගොල්ලම තරගෙට මිනී මරා ගත්තා. වැඩියෙන් මරන්න පුළුවන්කම ලැබුණේ ආණ්ඩුවට නිසා එයාලා අවසානයේදී ජයග්‍රහණය කළා. එහෙම බැරි වුන ජවිපෙ පරාජය වුණා.
ඒ මිනී මරා ගැනීමේ තරගාවලිය සම්බන්ධයෙන් වැඩි වරදකාරීත්වය පැවරිය යුත්තේ කාටද යන්න ගැන විවාදයක් පටන් ගත්තොත් ඒක මේ භද්‍ර කල්පය ඉවර වෙනකන් කතා කළත් ඉවර කර ගන්න බැරි වෙනවා.
ඒවා ඉතිහාසයේ අමුතු සහ අති විශේෂ කාල පරිච්ඡේද සහ සිදුවීම්. ඒවා අඳුරුයි, තිත්තයි, කුණු ගඳයි. ඒ නිසා ඒ වගේ දේවල් පස් දාල වහලා ඊට උඩින් කොන්ක්‍රීට් එකකුත් දාලා අතීතයට එකතු වෙන්න ඉඩ ඇරලා ඉදිරියට යන එක තමයි කරන්න තියන හොඳම දේ.
මෙහෙම කිව්වම සමහරුන්ට තරහ යයි. ඒ බිහිසුණු අපරාධ කරපු අයට දඬුවම් දෙන්න ඕනෙ නැද්ද, එහෙම දඬුවම් දෙන්න බැරිද කියලා අහයි. මගේ මතය නම් බෑ කියන එකයි. ඒ වගේ එහෙම දේකට උත්සාහ කරන්නත් එපා කියන එකයි.
දැන් අපි බටලන්දේ වරදකාරයෝ හොයලා දඩුවම් දෙන්න පටන් ගත්තොත්, ඊට පස්සේ ඒ ලයිස්තුවටම දාල හමුදාවේ පොලිසියේ නිලධාරීන් වගේම ප්‍රා වැනි සංවිධාන හදාගෙන හිටපු වාමාංශිකයන්ට වගේ අයටත් දඬුවම් දෙන්න වෙනවා. එතනින්ම විශාල සමාජ වියවුලක් පටන් ගන්නවා නේද? එතනින් නතර වෙන්නෙත් නෑනේ. ජනතා විමුක්ති පෙරමුණත් ගොඩක් කෲර විදියට මිනී මැරුවනේ. එතකොට ඒවා කරපු අයටත් දඬුවම් දෙන්න සිදු වෙනවා නේද? මේ වැඩේ කළ යුතුත් නැති, ඒ වගේම කරන්නත් බැරි දෙයක් කියලා කියන්නේේ ඒකයි.
ඒ වගේම මේ වගේ දුර අතීතයේදී වෙනම සන්දර්භයක සිදුවූ සිදුවීම්, වර්තමානයේ සිට නීතිමය විනිශ්චයන්ට භාජනය කරලා දඬුවම් දෙන්න ගන්න උත්සාහයන්වලදී බොහෝ විට සිදුවන්නේ ඒ අතීතයේ කරපු වරදේ ප්‍රමාණය බැලීම වෙනුවට, වර්තමානයේ තිබෙන පක්ෂපාතීන් සහ අගතීන් මත තීරණ ගැනීමයි. ඒ කියන්නේ ඒ කාලේ කොයිතරම් දරුණු වරදක් කළත් දැන් තමන්ට පක්ෂපාත නම් බේරලා දාන එකත්, ඒ වගේම තමන්ට රුස්සන්නේ නැති කෙනෙක්ගේ නම් ඒ කාලෙ කරපු පොඩි හරි වරදක් අල්ලලා දඬුවම් දෙන එකත්. බංග්ලාදේශයේ ෂෙයික් හසීනාත්, 1971 නිදහස් සටන කාලයේ සිදුවූ සිදුවීම්වලට 2010න් විතර පස්සෙ දඬුවම් දෙන්න පටන් අර ගත්තා. එතනදිත් ඇත්තටම සිදු වුණේ ඒ වගේ දෙයක්. ඒකෙන් විශාල සමාජ වියවුලකුත් ඇතිවුණා.
ඇත්තෙන්ම කියනවා නම් 88, 89 කාලෙ දේවල්වලින් වර්තමාන එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයවත්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණවත් මනින්න බැහැ. මේ සියලුම සංවිධාන (එයාලා විවෘතව ප්‍රකාශ නොකලත්) තමන්ගේ ඒ අඳුරු උරුමයෙන් ගැලවිලා අලුත් වෙලයි තියෙන්නේ. ඒක මිනිස්සු විසින් පිළි අරගෙනත් තියෙනවා. 88, 89 ජවිපෙ කරපු වැරදිවලට ලංකාවෙ මිනිස්සු 2004 වෙද්දිම සමාව දුන්නා. නමක්වත් නොදන්න මන්ත්‍රීවරු 39 දෙනෙක් පාර්ලිමේන්තු එව්වේ ඒකයි. ඒ නිසා දැන් ජවිපෙට බනින අය, අවුරුදු තිස්පහකට කලින් සිදුවුන 88, 89 ගැන කිව්වට වැඩක් නෑ. ඒ වගේම ජේආර් සහ ප්‍රේමදාස යුගයේ තිබුණු මර්දනකාරී ලක්ෂණ 2001 – 04 කාලයේදී සහ යහපාලන කාලයේදී එජාප පාලනයන් තුළ දකින්න ලැබුණෙත් නැහැ. ඉතින් ඒ පක්ෂ ඒ විදියට ගං ඉවුරෙදි පහුර අත ඇරලා දැන් ගොඩක් දුර ඇවිත් තියෙන නිසා, අපි ආපහු ඒ පහුර කර ගහන්න යන්න ඕනේ නැහැ.
අනෙක් අතට රනිල් කියන්නේ කොයිතරම් නරක දේශපාලනඥයෙක්ද කියන එක ඔප්පු කරන්න මේ වර්තමාන යුගයට අදාල නැති බටලන්දක් හාරන්න ඕනේ නැහැ. රනිල්ව තේරුම් ගන්න තියන හොඳම උදාහරණය තමයි රාජපක්ෂලාගේ දූෂණයට සහ වංචාවට එරෙහිව මහා බලාපොරොත්තු ගොඩක් එක්ක මිනිස්සු යහපාලන ආණ්ඩුව ගෙනල්ලා මාස දෙකක් යද්දිම මහ බැංකුව මංකොල්ල කාපු එක. රනිල් ඒක කළේ නෑ කියල කවුරුවත් කියාගෙන එන්න එපා. ඊළඟ ඡන්දෙට සල්ලි හොයාගන්න අපේ ලොක්කා මාර ගේමක් ගහලා කියලා අපිටම පුරසාරම් කියපු රනිල්වාදීන් තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඒ නිසා රනිල් ගැන නඩු දානවා නම් හෝ හිරේ දානවානම් ඒක කරන්න ඕනේ බටලන්ද ගැන නෙවෙයි මහා බැංකු හොරකම ගැනයි. මේ යුගයට අදාළ කාරණය ඒකයි.
ඒ නිසා,
බටලන්ද වළලන්න.
මහ බැංකු හොරකම ගොඩගන්න.
ඒ වංචාවේ මූලිකයාට උපරිම දඩුවම් දෙන්න.
