මණ්ඩලයට පයින් ගසා කොමිසම විදුලි බිල බස්සයි
- 5opn1
- January 19, 2025
- දේශපාලන
- මණ්ඩලයට පයින් ගසා කොමිසම විදුලි බිල බස්සයි
- 0 Comments
ගෘහස්ත 20% ආගමික 21% කර්මාන්ත 30% හෝටල් 31%
මෙම වර්ෂයේ මුල් මාස 6 සඳහා විදුලි ගාස්තු අඩු නොකොට එලෙසම පවත්වාගෙන යෑමට ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට කළ යෝජනාව ඉවත දමමින් පෙරේදා (17දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට විස්සකින් (20%) පහත දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ඉකුත් 17දා තීරණය කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ වියදම් හා ආදායම් ඇස්තමේන්තු සමාලෝචනය කිරීමෙන් හා දිවයිනේ පළාත් 9ම ආවරණය වන පරිදි මහජන උපදේශන 9ක් පවත්වා පුද්ගලයන් 400කට වැඩි පිරිසකගෙන් ලබාගත් අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන විදුලි අයක්‍රම ක්‍රමවේදයට අනුකූලව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මෙම නව විදුලි ගාස්තු හඳුන්වා දී ඇත.
එම ගාස්තු සංශෝධනය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා සහ සෙසු සාමාජිකයන් වන ඉංජිනේරු පියල් හෙන්නායක, ආචාර්ය චතුරි සමන්මලී ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ නිර්දේශය හිමි වී ඇත.
නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ථ අංශය සඳහා 20%කින්ද, ආගමික සිද්ධස්ථාන හා පුන්‍යායතන සඳහා 21%කින්ද, හෝටල් සඳහා 31%කින්ද, කර්මාන්ත කාණ්ඩය සඳහා 30%කින්ද, පොදු කාර්ය කාණ්ඩය සඳහා 12%කින්ද රාජ්‍ය ආයතන සඳහා 11%කින්ද, වීථී ලාම්පු සඳහා 11කින්ද ගාස්තු අඩුකර ඇත.
ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 1-30 අතර විදුලි පාරිභෝගිකයන්ගෙන් ඒකකයක් සඳහා අය කළ රුපියල් 6ක ගාස්තුව රුපියල් 4 දක්වා රුපියල් දෙකකින් අඩුකර ඇත. එම කාණ්ඩය සඳහා රුපියල් 100ක්ව පැවැති ස්ථාවර ගාස්තුව රුපියල් 75ක් දක්වා රුපියල් 25කින් අඩුකර ඇත.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 31-60 අතර විදුලි පාරිභෝගිකයන්ගෙන් ඒකකයක් සඳහා අය කළ රුපියල් 9ක ගාස්තුව රුපියල් 6 දක්වා රුපියල් 3කින් අඩුකර ඇත. එම කාණ්ඩය සඳහා රුපියල් 250ක්ව පැවැති ස්ථාවර ගාස්තුව රුපියල් 200දක්වා රුපියල් 50කින් අඩුකර ඇත.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 61-90 අතර විදුලි පාරිභෝගිකයන්ගෙන් ඒකකයක් සඳහා අය කළ රුපියල් 18ක ගාස්තුව රුපියල් 14 දක්වා රුපියල් 4කින් අඩුකර ඇත. එම කාණ්ඩය සඳහා රුපියල් 400ක්ව පැවැති ස්ථාවර ගාස්තුව එලෙසම පවතී.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 91-120 ඇතුළු විදුලි පාරිභෝගිකයන්ගෙන් ඒකකයක් සඳහා අය කළ රුපියල් 30ක ගාස්තුව රුපියල් 20ක් දක්වා අඩුකර ඇති අතර එම කාණ්ඩය සඳහා පැවති රුපියල් 1000ක ස්ථාවර ගාස්තුව එළෙසම පවතී.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 121-180 අතර විදුලි පාරිභෝගිකයන්ගෙන් ඒකකයක් සඳහා අය කළ රුපියල් 42ක ගාස්තුව රුපියල් 33ක් දක්වා අඩුකර ඇති අතර එම කාණ්ඩය සඳහා පැවති රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව එළෙසම පවතී.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ගෙන් ඒකකයක් සඳහා අය කළ රුපියල් 65ක ගාස්තුව රුපියල් 52ක් දක්වා අඩු කර ඇති අතර එම කාණ්ඩයේ රුපියල් 2000ක ස්ථාවර ගාස්තුව එළෙසම පවතී. මීට අමතරව ආගමික සිද්ධස්ථාන සඳහා ද ඒකක ගණන අනුව මිල ගණන් අඩුකර ඇත.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා විසින් මෙම නව ගාස්තු සංශෝධනය මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරන ලදී.
එහිදී මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු දුන් ජයනාත් හේරත් මහතා සඳහන් කළේ විදුලිබල පනත අනුව ගාස්තු තීරණය කිරීමේ බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට බවත් එමගින් ලබාදෙන ගාස්තු සංශෝධන ලංකා විදුලිබල මණ්ඩලය මගින් ක්‍රියාත්මක නොකළහොත් ඊට එරෙහිව නීති මගින් ක්‍රියාකිරීමේ හැකියාව පවතින බවත්ය.
කමල් බෝගොඩ