මහ මෝල්වලින් සහල් ලැබීම 60%ක් අඩු වෙලා – පිටකොටුවේ තොග වෙළෙන්දෝ

මෙරට ජනතාව බහුල වශයෙන් ආහාරයට ගන්නා නාඩු, කැකුළු සහල් ඇතුළු සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව හා වෙළෙන්දෝ පවසති.

මාස දෙකක පමණ සිට මෙම හිඟය පැවතුණ ද මේ වනවිට එය උග්‍ර වී ඇති බවත් සියලුම සහල් වර්ග රජයේ පාලන මිලට වඩා වැඩියෙන් සමහර වෙළෙඳුන් අලෙවි කරන බවටත් පාරිභෝගිකයෝ චෝදනා කරති.

රට පුරා ඇති සුපිරි වෙළෙඳසල් ජාලයේ ද දැඩි සහල් හිඟයක් පවතින අතර වෙළෙඳසල් රැසක මේ වනවිට සහල් නොමැත.

පිටකොටුව තොග වෙළඳපොළේ ද සහල් හිඟය දැඩි වී ඇති බවත් මහ පරිමාණ මෝල්වලින් සහල් ලැබීම සියයට 60කින් පමණ අඩුවී ඇති බවත් පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.

රට පුරා ඇති සතොස බොහෝ අලෙවිසල්වල ද මේ වනවිට සහල් හිඟයක් මතු වී ඇත.

මේ වනවිට සුදු කැකුළු කිලෝවක් රුපියල් 250කටත් රතු කැකුළු කිලෝවක් රුපියල් 245කටත් නාඩු සහල් කිලෝවක් රුපියල් 255කටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 260කටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 280කටත් සිල්ලර වෙළෙඳුන් විසින් අලෙවිකරනු ඇතැයි පාරිභෝගික ජනතාව කියති.

මේ අතර පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණීමෙන් දඩ ගෙවීමට සිදුවේ යැයි ඇති බිය නිසා බොහෝ සිල්ලර වෙළෙඳුන් සහල් විකිණීමෙන් ඉවත්ව සිටින බවද වාර්තා වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

Leave A Comment