
මැතිවරණ වලදී ව්‍යාජ තොරතුරු භාවිතය ; ඊයේ අද සහ හෙට – සී. දොඩවත්ත
- Sujeewa Senerath
- May 5, 2025
- දේශපාලන, විශේෂාංග
- election, election commission
- 0 Comments
මැතිවරණ වලදී ව්‍යාජ තොරතුරු භාවිතයේ “ඊයේ දවස”කෙරෙහි අවධානය යොමු කරන විට නිතැතින්ම මෙරට මැතිවරණ ව්‍යාපාරයේ ඉතිහාසය වෙත යොමුවීමට සිදුවේ. යටත් විජිත යුගය දක්වා දිවෙන එම ඉතිහාසය මුල් වරට කොළඹ මහ නගර සභා මැතිවරණය පැවැත්වූ 1850 වසර දක්වා දිවයයි. මධ්‍යම ආණ්ඩුවට මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු පත්කර ගැනීමට 1910 වර්ෂයේ ගෙන ආ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් ඉඩ සැලසුන ද එය සීමිත බලයක් විය. මෙහිලා තීරණාත්මක වන්නේ 1930 දශකයයි.
1931 වර්ෂයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි ආරම්භයත්, නිශ්චිත දේශපාලන අරමුණු සහිත ප්‍රථම සංවිධිත දේශපාලන පක්ෂය ලෙස 1934 වසරේ ලංකා සම සමාජ පක්ෂය පිහිටුවීමත් ඒ අතර දක්නට ලැබෙන ප්‍රධාන සලකුණුය. ලංකා ජාතික සංගමය හා ලංකා කම්කරු සංගමය/ පක්ෂය ද දේශපාලන අරමුණු සහිතව ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබිණි. මේ වන විට සිංහල සමාජය ඉලක්ක කරගත් මෙරට ජනමාධ්‍ය (මුද්‍රිත) කර්මාන්තය ආරම්භ වී 70 වසරකට ආසන්න කාලයක් ගතවී තිබූ නමුත් මැතිවරණ දේශපාලනය, සංවිධිත දේශපාලන පක්ෂ/ සංවිධාන අතර බල අරගලය හා මුද්‍රිත මාධ්‍ය යන ප්රපංචයන් තුන එකිනෙකට අභිමුඛ වීමේ සංසිද්ධිය ඉතිහාසයේ මුල්වරට අත්දකින්නට ලැබෙන්නේ මෙම යුගයේදී ය. මෙම ප්‍රපංචයන්හි සහවාසය ස්වල්ප කලකින් මැතිවරණ යුගයන්හි ව්‍යාජ තොරතුරු භාවිතයට උපත දෙන අයුරු දැකගත හැකිය. ව්‍යාජ තොරතුරු / fake news ලෙස නම් කිරීමක් හෝ සංකල්ප ගත කිරීමක් එකල දක්නට නොලැබුණත් එම භාවිතයෙහි මුල් ස්වරූපය නැතහොත් සම්භවය මේ යුගයේදී හඳුනාගත හැකිය.
සමාජ පන්ති සහ විවිධ සමාජ තීරු නියෝජනය කළ දේශපාලන පක්ෂ /බලවේග බලය (මහජන නියෝජිතත්වය) සඳහා කළ අරගලය මෙම භාවිතය පදනමෙහි විය. ප්රචණ්ඩත්වය ද මෙම බල අරගලය සඳහා යම් පමණකින් භාවිත වූ අතර, ජනමතයට බලපෑම් කිරීම සඳහා ජනමාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු භාවිතය යොදාගන්නා අයුරු මෙහිදී දැකගත හැකිය.
සත්‍ය නොවන තොරතුරු හා කතා පුවත් මගින් අනෙකාට හානි කිරීම, විශේෂයෙන් අනෙකාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහා මෙම උපාය මාර්ගය යොදා ගැණුනි. විවිධ තේමාවන් ඔස්සේ මෙම ව්‍යාජ තොරතුරු නිර්මාණය කෙරුණු අතර, එකල ද මෙහිලා යොදාගත් වඩා සංවේදී තේමාවක් වූවේ ආගමික හා වාර්ගික තේමාවන් ලෙස හඳුනාගත හැකිය.
විශේෂයෙන් මෙකල බල අරගලය වර්ධනය වෙමින් තිබුණේ යටත් විජිත පාලනයෙන් පූර්ණ නිදහස ඉල්ලා සිටි වාමාංශික කඳවුර (ලංකා සමසමාජ පක්ෂය ඇතුළු) හා යටත් විජිත පාලනය සමඟ සහජීවන පිළිවෙතක් අනුගමනය කළ දක්ෂිණාංශික (පසුව එජාපය බවට පත්වූ ලංකා ජාතික සංගමය ඇතුළු) කඳවුර අතර ය.
මෙකල වාමාංශික බල කඳවුරට විශේෂයෙන් අවාසිදායක තත්ත්වයක් තිබිණි. ඒ ඔවුන්ගේ පණිවිඩය ගෙන යාමට ප්‍රමාණවත් ජනමාධ්‍ය යාන්ත්‍රණයක් නොතිබීම හා අනෙක් අතින් ජාත්‍යන්තරව වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ ධනාත්මක පුවත් වෙනුවට සෘණාත්මක පුවත් වැඩි වශයෙන් වාර්තා වීමය. ඊට බලපෑ ප්‍රධාන හේතුව වූවේ මෙකල සෝවියට් රුසියාfවේ පැවැති අර්බුදකාරී සිදුවීම් ය. බොහෝ විට එම පුවත් ආගමික හා වාර්ගික අගතීන් දනවන පුවත් ය. විරුද්ධ කඳවුරෙහි රැස්වීම් වල පළ කෙරෙන ප්‍රකාශ මෙහිදී සුලබව යොදා ගැනුණි.
ඒ. ඊ. ගුණසිංහ 1934 මැනි දින රැළියේදී කළ ප්‍රකාශයක් එවකට පළවූ දිනමිණ මගින් ප්‍රකාශයට පත්කර තිබුණේ මෙසේය.
‘’යුරෝපයේ කොමියුනිස්ට්වාදී රටවල වාසය කොට කොමියුනිස්ට් ධර්මයේ විෂ බිජ වපුරා හැරීමට මෙහි එන පුද්ගලයන් ගේ බිණීම් හා ක්‍රියා ගැන පරිස්සම් වුව මැනවි. නැතහොත් කොමියුනිස්ට්වාදය විසින් සකස් කරන ලද මේ මිනී මරන ව්‍යාපාරයෙන් තමුන්නාන්සේලාට නිදහසක් ලැබේ යැයි සිතා මුලා වෙන්නට පුළුවනි.”
-1934 මැයි 03 දිනමිණ–
මේ වන විට ඩී. ආර්. විජේවර්ධන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තයේ දැවැන්ත බලයක් ගොඩනඟාගත් ව්‍යාපාරිකයෙකු වූ අතර, ඊට අභියෝග කළ හැකි මාධ්‍ය ආයතනය කිසිවක් මෙහි නොවීය.මෙකල ජනමාධ්‍ය මගින් සිදු කෙරෙන ආචාරධාර්මික ගැටලු හෝ වෘත්තිමය භාවය පිළිබඳ ගැටලු නියාමනය කෙරෙන විධිමත් යාන්ත්‍රණයක් ද නොවූ අතර, එවැනි කතිකාවතක් ද නොවීය. එබැවින් බොහෝ විට, බොහෝ දෙනෙකුට ජනමාධ්‍යයෙහි අධිපතිවාදී හැසිරීම ඉවසා සිටීමට සිදුවී තිබිණි.
එබැවින් මෙකල ර්ණඅසත්ය පුවත් ප්රහාරයන්ට” මුහුණදීම සඳහා විසඳුම වූවේ තමන්ගේ ම ප්රකාශනයක් ආරම්භ කිරීමයි. ඒ අනුව 1936 වර්ෂයේ අරඹන සමාසමාජය පුවත් වත මගින් ඔවුහු තමන්ට එල්ල වන ආගම් විරෝධී ප්රචාරයන්ට පිළිතුරු දෙන අයුරු දැකගත හැකිය. ඒ සඳහා ඔවුන් යොදාගන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන්ගේ අදහස් ය. ඒ අනුව උන්වහන්සේ මාක්ස්වාදය බුදු දහමට විරුද්ධ නොවන බවටත්, බුද්ධ දර්ශනය හා සමාජවාදී දර්ශනය සමාන වන බවට ලිපි පෙළක් සමාසමාජ පුවත්පතෙහි පළකර තිබේ.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් ආගමික හා වාර්ගික තේමාව පදනම් කර ගනිමින් ඇරඹෙන මෙම ව්‍යාජ තොරතුරු භාවිතය නොකඩවා ඉදිරියට විකාශනය වන ආකාරය මේ යුගයේ දැකගත හැකිය. එම විකාශනයේ අතර මැද දෛවයේ සරදමකට මෙන් ආගමිකත්වය පදනම් කරගත් මෙම ව්‍යාජ පුවත් වාර්තාකරණය ආපසු හැරී එහි නිර්මාතෘන්ටම පහර දෙන අයුරු දක්නට ලැබේ. එම ප්‍රහාරය එල්ල වන්නේ වම සහ දකුණ අතරින් ගොඩනැගුන ජාතිකවාදී කඳවුර වෙතිනි. එයින් දැඩිව පහර කෑ පාලකයන් වූවේ සර් ජෝන් තෙකාතලාවල ය. 56 මැතිවරණ ආශ්‍රිතව එවකට ලංකාදීප පුවත්පත ගෙන ගිය ප්රචාරක ව්‍යාපාරය සර් ජෝන් ගේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් ඇතිකළ සෘණාත්මක ප්‍රතිරූපය ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට බෙහෙවින් අහිතකරව බලපෑවේය. සුළු සිදුවීම් මත විශාල ප්‍රබන්ධ ගොඩනගමින් ගෙන ගිය එම ප්රචාරක ව්‍යාපාරයේ පදනම වූවේද සංස්කෘතික හා ආගමික හර පද්ධතීන් ය. සර් ජෝන් දේශීය සංස්කෘතියට පටහැනි චරිතයක් ලෙස එම පුවත් මගින් ප්‍රබන්ධය කෙරෙන අයුරු එහිලා නිරීක්ෂණය කළ හැකිය. ඔහු සහභාගී වූ එක්තරා සාදයකදී මස් පුළුස්සා කෑමේ අවස්ථාවක් (Barbecue) ලංකාදීප මගින් වසු පැටවකු පුළුස්සා කෑමේ අවස්ථාවක් ලෙස හැඟීම්බරව වාර්තා කිරීම එම පුවත් මෙහෙයුමේ කැපී පෙනෙන සිදුවීමක් විය.
මෙවැනි සිදුවීම් වලින් ගහණව සම්ප්‍රදායික ජන මාධ්‍යයෙහි මුල් යුගය ගෙවී ගියේය. සෑම පුවත් පතකටම පාහේ මෙකල ව්‍යාජ පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් විවේචන එල්ල වුවද ඒ සියල්ල කැටි කරගත් ප්‍රබලම විවේචනය එල්ල වූවේ ලේක්හවුස් ආයතනයට බව කිව හැකිය. ඔවුන්ගේ ව්‍යාජ පුවත් භාවිතයෙහි තරම සංකේතවත් කිරීමට මෙන් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් ජන වහරේදී ‘’බේරේ ගෙදර පච පත්තර” ලෙස නාමකරණය වූ යුගයක් ද තිබිණි. ඊට දේශපාලන හේතු ද බලපෑ අතර, කෙසේ හෝ වේවා මේ යුගයේ මුද්‍රිත මාධ්‍ය කර්මාන්තය ගොදුරු වී සිටි ර්ණව්යාජ පුවත් උවදුරෙහි තරම” මෙරට පොදු ජන විඥානයෙහි පිළිබිඹු වූ ආකාරය ඒ යෙදුමෙන්ම වටහාගත හැකිය.
කෙසේ හෝ වේවා, 1960 දශකය වන විට මෙම අර්බුදයට විසඳුම් සෙවීමේ සංවාදයක් රට තුළ ගොඩනැගුණි.
1960 බලයට පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුවෙහි අවධානය මෙහිලා යොමු වුණේ පුවත්පත් පාලනය කිරීම සඳහාය. එම උත්සාහයට පසුබිම සැකසුණේ එතෙක් මෙරට ජනමාධ්‍ය කර්මාන්තය තුළ පැවැති ඉහත පැහැදිලි කරන ලද ජනමාධ්‍යයෙහි විවිධ අවභාවිතයන් වුවද ආණ්ඩුව මැදිහත්වීමෙන් මාධ්‍ය එසේ පාලනය කිරීම ආණ්ඩවට පහසුවෙන් සාධාරණීකරණය කළ නොහැකි විය. මේ අනුව ආණ්ඩුව 1962 පුවත්පත් කොමිසමක් පත්කොට 1964 සැප්තැම්බර් 25 වැනිදා පුවත්පත් පනත ඉදිරිපත් කළත් එය සම්මත කර ගැනීමට හැකිවූවේ නැත. වසර අවසානයේ එම ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවූ අතර, 1965 අලුත් ආණ්ඩවක් බලයට පත්වීමෙන් එම උත්සාහය යටපත්ව ගියේය.
යළි එම උත්සාහය වෙනත් මුහුණුවරකින් ඉදිරියට පැමිණියේ 1970මැතිවරණයෙන් පසු බලයට පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුය යටතේය. ඒ අනුව 1973 ජුනි 05 වැනිදා පුවත්පත් මණ්ඩල පනත සම්මත වූ අතර, 1973 ජූලි 20 වැනි දා ලේක්හවුස් ආයතනය ජනමාධ්‍ය පාලනය කිරීම සඳහා ආණ්ඩුව මැදිහත්වීමෙන් දියත් කෙරුණු මාධ්‍ය පාලනය කිරීමේ ප්රයත්නය සම්බන්ධයෙන් තිබෙන සියලු විවේචන අතර ආණ්ඩුවට එම මැදිහත්වීම සඳහා පසුබිම සකස් වූ ආකාරය කෙරෙහි ද අවධානය යොමු කිරීම මෙහිදී වැදගත් ය.
1962 පුවත් පත් කොමිසම පත් කරන්නේ පුවත්පත් ඒක පාක්ෂිකව කටයුතු කරන බව, පුවත් ආයතන තුළ පවතින දූෂිත හා අසාධාරණ තත්ත්වයන් හෙළි කිරීම සඳහා යැයි කියමිනි.
එවැනි චෝදනා එල්ල කිරීමට හැකිවන්නේ පෙර දැක්වූ උදාහරණ ද ඇතුළුව ව්‍යාජ පුවත් පළ කිරීම ඇතුළු විවිධ මාධ්‍ය අවභාවිතයන් නිසාය. එහෙත් එසේ වූ පමණින් මාධ්‍ය පාලනය සඳහා රජය ගත් පියවර මගින් ජනමාධ්‍යයෙහි අවභාවිතයන් කිසිවක් විසඳුනේ නැත. රජයට පවරාගත් ලේක්හවුස් ප්‍රකාශන පෙර පැවැති තත්ත්වය අභිබවා යමින් ව්‍යාජ පුවත් ඉදිරිපත් කරන ආකාරයත්, එවැනි ව්‍යාජ පුවත් පළකිරීම සම්බන්ධයෙන් එම ආයතනයට සමාජයේ දැඩි විවේචන එල්ලවන ආකාරයත් දක්නට ලැබිණි.
1970 දශකය අවසානයේ රූපවාහිනිය හඳුන්වාදීම මෙරට ජනමාධ්‍ය සංස්කෘතියේ තාක්ෂණික ඉදිරි පිම්මක් වූ නමුත් ඉහත මූලික ප්රශ්නය එමගින් ද වැඩිදුරටත් විකාශනය විය. ‘’රූපවාහිනිය සත්‍යවාහිනියක්” වේවා යැයි මෙරටට රූපවාහිනිය හඳුන්වා දුන් අවස්ථාවේ එවකට සිටි ජනාධිපතිවරයා කළ කතාවේදී ප්‍රාර්ථනා කළ නමුත් එතුමාගේ පාලන සමයේදී ම රූපවාහිනියට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූවේ එමගින් අසත්‍ය ප්‍රචාරයන් කරන බව ය. එය ර්ණඅසත්යවාහිනියක්” වූ බවය.
රූපවාහිනී මාධ්‍යයෙහි විකාශනයන් සමාජය කෙරෙහි වඩා බලපෑම් සහගත වීමත් සමග එමගින් සිදු කෙරෙන ව්‍යාජ පුවත් භාවිතය මැතිවරණය ක්‍රියාවලිය කෙරෙහි මෙන්ම පොදුවේ සමස්ත දේශපාලනය කෙරෙහි ද වඩා අහිතකර ලෙස බලපෑවේය.
එම තත්ත්වය මැනැවින් පැහැදිලි කළ සිදුවීමක් වූවේ 2015 ජනවාරි 08ජනාධිපතිවරණයේදීය. එදින ඡන්ද පැවැත්වෙමින් තිබියදී රූපවාහිනී සංස්ථාවේ දහවල් රූපවාහිනී ප්රවෘත්ති ප්‍රකාශයෙන් විකාශනය වූ ප්‍රධාන පුවත වූවේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩු පක්ෂයට සම්බන්ධ වූ බවයි. මෙය සාවද්‍ය පුවතක් බවට සජිත් ප්‍රේමදාස මහතා කළ පැමිණිල්ලකට අනුව එය නිවැරදි කිරීම සඳහා එවකට සිටි මැතිවරණ කොමසාරිස්වරයා රූපවාහිනී පරිශ්‍රය වෙත යාම මෙරට මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වූ අතර, රාජ්‍ය මාධ්‍ය ව්‍යාජ පුවත් වළකිරීමේ ඉතිහාසය මැනැවින් කැටිකර දක්වන්නක්ද විය.
මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ව්‍යාජ පුවත් භාවිතය සම්බන්ධයෙන් මෙවැනි ඉතිහාසයක් සළකුණු කරද්දී සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය ඊට එක්වීමෙන් තත්ත්වය වඩා සංකීර්ණ විය.
මෙරට ෆේස්බුක් භාවිතයෙහි ආරම්භය 2009-2010 පමණ කාලයේ සිදු වූ අතර, නගර හා ඒ ආශ්රිත කලාපයන්හි ජනප්‍රිය වීම 2012-2016 අතර කාලයේ සිදුවිය. 2017-2019 වකවානුව තුළ ෆේස්බුක් මෙන්ම වට්ස්ඇප් සහ යූටියුබ් ද වඩා සුලබ විය. තරුණ ප්‍රජාව අතර ඉන්ස්ටර්ග්‍රෑම් ද ජනප්‍රිය විය.
සාපේක්ෂ්ව මෙහි ජනප්‍රියත්වය වඩා මුදුන්පත් වූ යුගය ලෙස 2018 න් පසු යුගය සැලකිය හැකිය. සමාජ මාධ්‍ය, සමාජ දේශපාලන ක්ෂේත්‍ර කෙරෙහි වඩා බලපෑම් සහගත වූවේ මෙම යුගයේදී ය. මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි මෙන්ම ඉන් බැහැර, අරගල හා කැරලි කෝලහාල කෙරෙහි ද බලපෑම් සහගත විය.
සමාජ මාධ්‍යයෙහි බලපෑම මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි බලපෑ ආකාරය සනාථ කරමින් 2015 ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම කියා සිටියේ තමන් ලැබූ ප්රතිඵලයන් කෙරෙහි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය තීරණාත්මක ලෙස බලපෑ බවය. එමෙන්ම ව්‍යාජ තොරතුරු ප්‍රචලිත වීම ද සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන ලෙස ඒ සමඟ වර්ධනය වී තිබිණි.
2024 ජනාධිපතිවරණයට පෙර ජාජබ ඉදිරිපෙල ක්‍රියාකාරියකු වූ චතුරංග අබේසිංහ තම දේශපාලන ව්‍යාපාරය සමඟ ස්වේච්ඡාවෙන් වැඩ කරන සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන් 75000 කට ආසන්න පිරිසක් සිටින බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
මෙයින් පැහැදිලි වන්නේ 2024 අවසන් වන විට මෙරට මැතිවරණ ක්රියාවලියෙහි තීරණාත්මක මෙවලමක් බවට සමාජ මාධ්‍ය පත්ව ඇති බවයි. අනෙක් අතින් මෙහි ප්‍රධාන අභියෝගය වන්නේ සාපේක්ෂව ව්‍යාජ පුවත් වැඩි වශයෙන් සංසරණය වන මාධ්‍ය මෙන්ම පාලනය හෝ නියාමනය හෝ වඩා දුෂ්කරම මාධ්‍ය වන්නේ ද සමාජ මාධ්‍ය වීමය.
2025 වර්ෂයේ මැයි 06 දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාලව සමාජ මාධ්‍ය හැසිරීම නිරීක්ෂණයෙහි නියැලී සිටින සමාජ මාධ්‍ය විශ්ලේෂකයකු වන දර්ශත ගමගේ පවසන පරිදි මැතිවරණය ප්‍රකාශයට පත්කර අවුරුදු සමය වන තෙක් කැපී පෙනෙන ගැටලුකාරී තත්ත්වයක් සමාජ මාධ්‍ය භාවිතයෙහි නොවූ නමුත් අවුරුදු සමයෙන් පසු ව්‍යාජ තොරතුරු සංසරණයෙහි ඉහළයාමක් දක්නට ඇති බවයි. ඩෑන් ප්‍රියසාද් ගේ මරණය හා පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට අදාලව මෙවැනි ප්‍රකාශ පළවූ අයුරු උදාහරණ ලෙස ඔහු දක්වයි.
නිදහස් හා සාධාරණ මැතිවරණ ව්‍යාපාරය (පැෆරල්) මෙහෙයවන සමාජ මාධ්‍ය නිරීක්ෂණ ක්‍රියාවලිය දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක වන අතර, අප්‍රේල් 01 සිට මැයි 03 දක්වා ඔවුන්ගේ නිරීක්ෂණයට බඳුන් වූ වාර්තා ප්‍රමාණය 451 කි. එයින් වැඩි ප්‍රමාණයක් වෛරී කථනයන්ට අයත් වන අතර, ව්‍යාජ පුවත් වාර්තාකරණය ප්‍රමාණය 16 ක් බව පැෆරල් සංවිධානයේ සමාජ මාධ්‍ය සම්බන්ධීකාරක ගිහාන් වික්‍රමසිංහ පවසයි.
පැෆරල් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන පරිදි ඔවුන් හඳුනාගන්නා මෙම වාර්තා මැතිවරණ කොමිසමට යොමු කළ විට කොමිසම අදාළ සමාජ මාධ්‍ය ආයතන වෙත එම තොරතුරු වාර්තා කොට නිසි පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ක්‍රියාත්මක වීමේ ගැටලු ඇතත් තවදුරටත් පුළුල්ව හා ශක්තිමත්ව ක්‍රියාවට නැගිය හැකිනම් මෙය එක් විසඳුම් මාර්ගයක් බව පැහැදිලිය.
විසදුම් මාර්ගයක් වෙත අවධානය යොමු කිරීමේදී මෙම ක්රියාමාර්ගයෙහි විශේෂ වැදගත් කමක් ඇත.එනම්, ව්‍යාජ අන්තර්ගතයන් හදුනාගන්නා ඕනෑම ග්‍රාහකයකුට එය මැතිවරණ කොමිසම වෙත යොමු කරමින් මේ ක්‍රියාමාර්ගය සමග එක් විය හැකි බැවිනි. එක් අතකින් නීතිමය විසදුම් සදහාද මාර්ග තිබෙන නමුත් එවැනි සමහර විසදුම් ප්රකාශනයේ නිදහසට අභියෝගයක් වී ඇති බැවින් මේ කෙරෙහි යොමුවීම වඩා යෝග්‍යයය.පුරවැසියා ගේ සාක්ෂරතාව මත මෙවැනි විසදුම් ප්‍රවර්ධනය වීම ප්රජාතන්ත්රවාදයේ පැවැත්මට වඩා හිතකර බැවිණි. පුරවැසි කේන්ද්‍රීය විසඳුමක් සොයා යාම තිරසර වන අතරම ප්රජාතන්ත්රවාදයට ද හිතකර වේ.ඒ සදහා පුරවැසියන් අතර මාධ්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියකි.
