මියන්මාර සයිබර් කඳවුරු වලින් බේරී ශ්‍රි ලංකිකයන් 27 ක් දිවයිනට
- 5opn1
- December 17, 2024
- දේශපාලන
- මියන්මාර සයිබර් කඳවුරු වලින් බේරී ශ්‍රි ලංකිකයන් 27 ක් දිවයිනට
- 0 Comments
මියන්මාරයේ සයිබර් අපරාධ කදවුරක බලහත්කාරයෙන් රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු , එයින් බේරා ගෙන ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
ඔවුන් එම කදවුරෙන් මුදා ගෙන තායිලන්තය වෙත රැගෙන විත් , එරට බැංකොක් නුවර ගුවන් තොටුපොළේ සිට ඊයේ පස්වරු 04.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මේ සදහා මුල් වී ක්‍රියා කළ මාළිගාවිළ අස්සජි හිමියන් ද මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කළ එම ස්වාමීන්වහන්සේ මෙසේ පැවසීය .
මම තනි පුද්ගලයෙකු වශයෙන් මියන්මාරයේ එම කදවුරට ගිහිල්ලා , දින 14 ක දැවැන්ත උත්සාහයකින් පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස බේරා ගෙන තායිලන්ත දේශසීමාව වෙත රැගෙන විත් භාර දුන්නා . ඒ විතරක් නෙමෙයි ඔවුන් අතර සිටි නේපාල ජාතිකයන් 06 දෙනෙකු සහ රුසියානු සහ මැලේසියානු ජාතිකයෙකුත් මම බේරා ගෙන ආවා .
මේ තරුණ දරුවෝ අවුරුදු දෙකක් , දෙකහමාරක් මේ කදවුරු වල දුක් ගැහැට මැද සිටියා . තවත් ශ්‍රී ලාංකික දරුවන් 14 දෙනෙකු තවමත් ඒ කදවුරු වල ඉන්නවා.
මම මේ දරුවන් බේරා ගැනීමට මුදල් ලබා ගත්තා කියල ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පුවත් මම ප්‍රතික්ෂේප කරනවා යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය .
උන්වහන්සේ පිළිගැනීම සදහා බැනරයක් ද රැගත් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට සහ එතැන් සිට ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාම සදහා , සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ) බර පැන දරා තිබුණි .
DMN