මිලියන 70ක ක්‍රිෂ් ගණුදෙනුව නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක්
- 5opn1
- January 23, 2025
- දේශපාලන
- මිලියන 70ක ක්‍රිෂ් ගණුදෙනුව නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක්
- 0 Comments
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් වෙනම විමර්ශනයක් පවත්වන බව අල්ලස් කොමිසම කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණවිය හමුවේ ඊයේ (22) දැනුම් දුන්නේය.
අධිකරණ නියෝගයක් ප්‍රකාරව මෙම විමර්ශන ආරම්භ කළ බව කොමිසමේ නිලධාරියෙක් අධිකරණයට දන්වා සිටියේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශනයට අදාළව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මේ බව කියා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජූනි මස 04 යළි කැඳවන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. නීතිපති උපදෙස් ඉන් පෙර ලැබුණහොත් විත්තියට නොතිසි නිකුත් කරන ලෙස ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය. වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසින් සිටියදී ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කරයි.
රුපියල් මිලියන 70ක පමණ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට ඒ සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා පොලිස්පතිවරයාට පැමිණිලි කරනු ලැබුවේ දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස පෙළගැසෙමිනි.