රිෂාඩ්-කාදර් මස්තාන්ගේ ආධාරකරුවෝ ගැටෙති
- 5opn1
- November 13, 2024
- දේශපාලන
- රිෂාඩ්-කාදර්
- 0 Comments
වන්නි දිස්ත්රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුදීන් හා කාදර් මස්තාන් යන දෙදෙනාගේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් තුන් දෙනකු පෙරේදා (11) රාත්රියේ වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වවුනියාව පොලීසිය පවසයි. මෙම ගැටුමේදී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහායට පැමිණි වාහන තුනකට හා රිෂාඩ් මන්ත්රීවරයාගේ වාහනයට ද අලාභහානි සිදුව තිබේ. රිෂාඩ් බදියුදීන් මහතා වාහනය තුළ සිටියදීම ඔහුගේ වාහනයට ප්රහාර එල්ල කර එම වාහනයට දැඩි අලාභහානි සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. වවුනියාවේ පට්ටානිචපුලියන්කුලම ප්රදේශයේදී කාදර් මස්තාන් මහතාට ආධාර පිණිස රැස්වීමක් සංවිධානය කර ඇති අතර එම රැස්වීමට යතුරුපැදිවලින් ගිය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආධාරකරුවන් පිරිසක් රැස්වීමට සහභාගි වී සිටි පිරිසට තර්ජනය කර පහර දීමට ද තැත් කර තිබූ බව පොලීසිය කියයි.
රැස්වීමේ සිටි පිරිසෙන් ඔවුන්ට දැඩි විරෝධයක් එල්ලවීමත් සමඟම ඔවුන් පැමිණි යතුරුපැදිවලින්ම ආපසු පලා ගොස් තිබේ. මේ සිද්ධියෙන් කුපිත වූ මස්තාන් මහතාගේ ආධාරකරුවන් මඟ රැක සිට රිෂාඩ් බදියුදීන් මහතාගේ පිරිසක් වාහනවලින් පැමිණෙමින් සිටියදී පහර දීම සිදු කොට තිබේ.
සිද්ධියත් සමඟම එම ස්ථානයට පැමිණි වවුනියාව පොලීසියේ නිලධාරීන් සිද්ධිය සමථයකට පත්කොට කාදර් මස්තාන් මහතාගේ රැස්වීම සුපුරුදු පරිදි පවත්වාගෙන යෑමට ඉඩ සලසා දී තිබේ.
මෙම පහර දීම සම්බන්ධයෙන් මේ වන විට දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි ලැබී ඇති බව ද පොලීසිය කියයි.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ