
ලංකාවේ තේ කර්මාන්තයට තර්ජනයක් වන අදටත් නොවිසිඳුණු රෝගාබාධ
- Sujeewa Senerath
- August 12, 2025
- CNL සතියේ ව්‍යාපාරික විවරණය
- weekly business analyzes
- 0 Comments
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය වසර ගණනාවක් තිස්සේ රටේ ආර්ථිකයේ මූලස්ථම්භයක් ලෙස පැවතුණි. ‘සිලෝන් ටී’ යන නාමය ලොව පුරා උසස් ගුණාත්මක තේ සඳහා සම්මාන ලද වෙළෙඳ නාමයකි. දහස් ගණන් පවුල්වල රැකියාව, ගම්මානවල ආර්ථික වර්ධනය, විදේශ විනිමය යන සියල්ල මෙම කර්මාන්තය මත රඳා පවතී.
ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කුලුනක් වන මෙම තේ කර්මාන්තය අද වනවිට බරපතළ අභියෝග මාලාවක් අතරේ සටන් කරමින් සිටී. ඒ අතර ඉතාම දැඩි තර්ජනයක් වන්නේ තේ වගාවට පවතින හා ව්‍යාප්ත වන රෝගාබාධයි. මෙම රෝගාබාධ හේතුවෙන් තේ අස්වැන්න පහළ යෑම ගුණාත්මක භාවය අඩුවීම හා ඇතැම් අවස්ථාවලදී තේ පඳුරු සම්පූර්ණයෙන් ම විනාශ වීම සිදුවේ. මෙම තත්ත්වය මෙසේ වුවහොත් ලෝකයේ විශිෂ්ටතම තේ නිෂ්පාදකයා ලෙස ශ්‍රී ලංකාවට හිමිවී ඇති කීර්ති නාමය අනාගතයේ අහිමි විය හැකිද යන්න බරපතළ ප්රශ්නයකි.
තේ වගාවට වැලඳෙන රෝග බොහොමයක් දිලීර මගින් ඇති කරයි. කඳ පිළිකා රෝගය තේ වගාවට ආයු කාලය කෙටි කරන මෙන්ම අස්වැන්න අඩු කරන රෝගී තත්ත්වයක් වන අතර නුසුදුසු පාංශ`ු තත්ත්වයන් ඇති ස්ථානවල වගා කළ තේ පඳුරු මෙම තත්ත්වයට වඩා ඉක්මනින් පාත්‍ර වෙයි. මෙම රෝගය මුලින්ම දිස්වන්නේ පැන්සලක් පමණ ඝනකම ඇති ළපටි තේ ඇති හෝ කඳන්වල යටට ගිලුණු අඳුරු පැහැති ලප වශයෙනි. මෙම ලප ඕවලාකාර හැඩයක් ගනිති. දිලීරයේ වර්ධනයත් සමගම මෙම ලප පිහිටි කළු පැහැගැන්වී විනාශ වී යන අතර පසුව එය කඳේ පොත්ත සමග ගිලිහී යයි. සාමාන්‍ය තත්ත්වයේ උවදුරකදී එනම් පිළිකා රෝගය පැතිර යෑමට හේතු වන හිතකර තත්ත්ව නොමැති විටෙක මෙසේ පොත්ත ඉවත්වූ ස්ථානය වටා ඇති සෛල වර්ධනය වී කිනක භාවයට පත්වේ. එවිට දිලීරයේ සක්රීයභාවය හීන වේ. මේ අනුව හානියට පත් කොට ඉතා සුළු කාලයකදීම සුව වී යථා තත්ත්වයට පත්වේ. නමුත් ඒ පඳුර වෙනත් හේතූන් මත දුර්වල වූ විට රෝගයට ඔරොත්තු දීමේ හැකියාව හීන වී යයි. එවැනි අවස්ථාවක කිනක හටගැනීම සම්පූර්ණ නොවීම නිසා රෝගය හේතුවෙන් සිදුවන හානිය උග්‍ර වන අතර පිළිකා හටගත් කොටස් සහිත තේ පඳුරේ අතු මෙන්ම කඳේ කොටස් ද මුළුමනින්ම විනාශයට පත්වේ. මේ අනුව ළපටි තේ පමණක් නොව මේරූ තේ පඳුරුවල ඇති වැඩුණු අතු සහ කඳේ කොටස් ද මෙම දිලීර රෝගයෙන් විනාශ වේ. මෙම රෝගය මුල් අවධියේදීම හඳුනාගෙන එය පැතිරීමට හේතුකාරක වන පාංශු තත්ත්වයන් දියුණු කිරීමට කටයුතු කිරීමෙන් රෝගය ගැටලුකාරී තත්ත්වයකට පත්වීම වළක්වා ගත හැක. පාරිසරික තත්ත්වයන් වෙනස්වීමත් සමග විශේෂයෙන් පහතරට හා ඌව කලාපවල කුඩා තේ වතු හිමියන්ගේ තේ ඉඩම්වල වැඩි අස්වනු සහිත රිකිලි තේ වගාවන් ව්‍යාප්ත වීමත් නිසා එම වගාවන්හි ඇති තේ පඳුරු කඳ හා අතු පිළිකා රෝගයට පාත්රවී විනාශ වන අවස්ථා බහුල ලෙස වාර්තා වී ඇත.
සුදු බුබුළු අංගමාරය වැසිබර කාලගුණයක් ඇතිවිට බහුලව දක්නට ලැබෙන දිලීර රෝගයක් වන අතර මේ මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමෙන් සහ එය පැතිරී යෑමට හේතුකාරක වන අධික සෙවණ තත්ත්වයන් පාලනය කිරීමෙන් රෝගය ගැටලුකාරී තත්ත්වයට පත්වීම වළක්වා ගත හැක.
කළු කෙඳි අංගමාරය හෝ අශ්ව කෙඳි අංගමාරය ලෙස හැඳින්වෙන තත්ත්වයට පත් වන්නේ කප්පාදු කිරීමේදී පඳුරු හොඳින් පිරිසිදු නොකිරීම නිසාය. කළු කෙඳි අංගමාරය සෑම අතින්ම සුදු බුබුළු අංගමාරය රෝගය පැතිරීමට සමාන ලෙස සිදුවන අතර මෙය බොහෝවිට පහතරට ප්‍රදේශවල පමණක් දක්නට හැකිවෙයි. රතු මළකඩ රෝගය බොහෝවිට පහතරට ප්‍රදේශවල දක්නට ලැබෙන තත්ත්වයක් වන අතර මේ බොහෝවිට හටගන්නේ ගල් බොරළු වැඩි නිසරු පසක සිටුවූ තේ වගාවන්වලය.
තේ රෝග ව්‍යාප්තියට ප්‍රධාන වශයෙන් ම හේතු වන්නේ දේශගුණික විපර්යාස, අනිසි කෘෂිකාර්මික පිළිවෙත් හා ප්‍රමාණවත් අධීක්ෂණයක් නොමැති වීමයි. අධික වර්ෂාව සහ අධික ආර්ද්‍රතාවය දිලීර රෝග ව්‍යාප්තියට හිතකර පරිසරයක් නිර්මාණය කරයි. එසේම රසායනික පොහොර අනිසි ලෙස භාවිත කිරීම, කප්පාදු කිරීමේදී විෂබීජහරණය නොකළ උපකරණ භාවිත කිරීම හා ආසාදිත පැළෑටි ඉවත් නොකිරීම වැනි කාරණා ද රෝග ව්‍යාප්තියට බලපායි.
තේ කර්මාන්තය රැකගැනීම සඳහා වඩාත් තිරසර හා දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍ය වේ. නව රෝගවල ඔරොත්තු දෙන තේ ප්‍රභේද හඳුන්වා දීම සඳහා පර්යේෂණ කටයුතු තවදුරටත් පුළුල් කළ යුතුය. රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කරමින් ජෛව විද්‍යාත්මක හා කාබනික රෝග පාලන ක්‍රම ප්‍රවර්ධනය කළ යුතුය.
තේ වගාව රෝගාබාධ හේතුවෙන් අනාගතයේ නැතිවී යැයි පැවසීම අතිශයෝක්තියක් වුවත් මෙම තත්ත්වය අලාභ වීමේ අවදානම ඉතා ඉහළය. මෙම තර්ජනයට සාර්ථකව මුහුණදීමට රාජ්‍ය ආයතන පර්යේෂකයන් හා තේ ගොවීන් එක්ව කටයුතු කළ යුතුය. එසේ නොමැති වුවහොත් ගුණාත්මකභාවය අඩුවීම, නිෂ්පාදන පරිමාව පහළ යෑම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරගකාරිත්වය නැතිවීම, අනාගතයේදී තේ කර්මාන්තය බරපතළ ගැටලුවකට ලක් කළ හැකිය.
| චතූ වීරසිංහ – කැලණිය සරසවිය
(දිවයින ඉරිදා සංග්‍රහය)