ලොහාන්ගේ තවත් වාහනයක් අහුවෙයි

රුපියල් කෝටි හතරක පමණ වටිනාකමින් යුත් ව්‍යාජ අංක තහඩු යෙදූ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයට අයත් නිවසක තිබී පෙරේදා (31) පස්වරුවේ සොයා ගෙන තිබේ.

මෙම ජීප් රථය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිත කළ බවට තොරතුරු පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

අදාළ ස්ථානයේ පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයේ තිබී සොයාගත් මෙම වාහනයේ සවිකර තිබූ අංක තහඩුව සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එය මහනුවර පිලවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් රතු පැහැති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකට අයත් එකක් බවයි.

එම ජීප් රථයේ අංකය භාවිත කරමින් මෙම ජීප් රථය ධාවනය කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් මිරිහාන පොලිස් වසමේ ඇඹුල්දෙණිය ශාලාව පාරේ පිහිටි තෙමහල් නිවසක ගරාජයේ තිබී පසුගිය 26 දින සුඛෝපභෝගි වාහනයක් සොයාගත් අතර එම සිද්ධියට අදාළ ඔහු මේ වන විට නොවැම්බර් මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

දිගන ප්‍රදේශයෙන් සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

සමන්තී වීරසේකර සහ ගුන්නෑපාන ජානක සම්පත් බණ්ඩාර

Leave A Comment