එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක අමාත්‍ය විජිත හේරත් මුණගැසෙයි
- 5opn1
- January 29, 2025
- දේශපාලන
- un, wijitha-hearth
- 0 Comments
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ගරු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා අමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (28) දින හමු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව නේවාසික නියෝජිත විසින් විජිත් හේරත් අමාත්‍යතුමා වෙත දැනුම් දුන්නේ ය.
මෙම වර්ෂය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉතා වැදගත් වැඩසටහන් පෙළක් දැනටමත් පෙලගස්වා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ සක්‍රීය සහභාගීත්වය ඔහු ඉල්ලා සිටියේ ය. ජෛව විවිධත්ව සම්මන්ත්‍රණය, සාගර සමුුළුව, කාළගුණ විපර්යාස සමුළුව, සමාජීය සංවර්ධනය පිළිබඳ වූ සමුළුව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සමුළුව ඒ අතර වෙයි.
නව රජය විසින් බලාපොරොත්තු වන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහය ලබා දීමට සූදානම් බව ද නිත්‍ය නියෝජිතවරයා මෙම සාකච්ඡාවේ දී විජිත හේරත් අමාත්‍යවරයාට දන්වා සිටියේ ය.
නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමඟ ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ වැදගත්කම නිත්‍ය නියෝජිතවරයා පැහැදිලි කළ අතර ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීමෙහිලා රජය ගෙනයන වැඩසටහන්වලට සම්පූර්ණ සහාය දීමට සූදානම් බවත් ඒ සඳහා මූල්‍ය ආධාර ලබා දීමට මැදිහත්වීමටත් නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතා එකඟ වූවේ ය.
ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකා සමුද්‍ර තීරයේ දී බේරාගත් රෝහින්ගියා සරණාගතයින්ට මානුෂික අයුරින් සලකන ලද ආකාරය මාර්ක් ඇන්ඩෘෘ මහතාගේ ප්‍රශංසාවට ලක් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා දැනුම් දුන්නේ ය.
පසුගිය මැතිවරණවල දී ශ්‍රී ලාංකික ජනතාව ජාති භේද හෝ පළාත් භේදවලින් තොරව නව රජය විශාල ආසන සංඛ්‍යාවකින් බලයට පත්කිරීම ඓතිහාසික සිදුවීමක් බව විජිත අමාත්‍යවරයා මාර්ක් ඇන්ඩෘෘ නේවාසික සම්බන්ධීකාරක වෙත දැන්වුවේය. එම විශිෂ්ඨ ජයග්‍රහණය, ශ්‍රී ලාංකික ජනතාව අතර ඇති වූ නව සහජීවනයක් ලෙසත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි කාලවල දී ජාතික ඒකාබද්ධතාවය තහවුරු වන පරිදි කටයුතු කිරීමට රජය සාධනීය පියවර ගනිමින් සිටින බව ද පැහැදිලි කළේ ය. උතුරු නැගෙනහිර පළාත්වල පවරාගෙන ඇති ඉඩම් අයිතිකරුවන්ට ආපසු දීම ඉදිරි කාලයේ තවදුරටත් කරගෙන යනු ඇති බවත්, ශ්‍රී ලංකා පොලීසියට බඳවාගැනීමේ දී සියලු ජාතීන් නියෝජනය වන පරිදි බඳවා ගැනීමට රජය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා දන්වා සිටියේ ය.
ඉදිරි කාලයේ දී එක්සත් ජාතීන්ගේ සාම හමුදා සඳහා ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් බඳවා ගැනීම වැඩි කිරීමට කටයුතු කරන මෙන් නේවාසික නියෝජිතගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධව ඉතා ඕනෑකමින් සොයා බලන බවට හෙතෙම පොරොන්දු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවලින් ශ්‍රී ලංකාවේ ප්‍රගතියට සහ යහපැවැත්මට සිදු කරන සේවය රජය බෙහෙවින් අගය කරන බවද විජිත හේරත් අමාත්‍යවරයා දන්වා සිටියේ ය.