
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ජාතික අභිලාශ හා සමපාත වනු ඇත්තේ කෙදිනකද?
- Sujeewa Senerath
- June 11, 2025
- දේශපාලන
- government
- 0 Comments
වෙනදා මෙන්ම මෙවරද ජාතික පරිසර දින උළෙල පවත්වන ලද අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය. එය මෙවර පැවැත්වුයේ කොළඹින් බැහැර කෑගල්ලේදීය. ගෝලීය පණිවුඩ වලටද සවන් දෙමින් මෙවර එහි තේමාව වූයේ “Let it Sprout”, යන්නයි. එනමුත් සැබවින්ම කැපී පෙනුනේ ලෝක පරිසර දිනය තුළ ශ්‍රී ලංකාව ක්‍රියා කල යුත්තේ කෙසේද යන්න නොවේ. ජනාධිපතිවරයා රාජ්‍ය සේවය පිළිබඳව කල සඳහනයි. එහිදී ඔහු දැක්වූ සමස්ත අදහසම හකුලා දක්වන ප්‍රකාශය විය හැක්කේ මෙයයි.
”නිළධාරී යාන්ත්‍රණයට නැවත නැවත කියන්නේ වෙනස් වෙන්න නැත්නම්, සහතික වශයෙන් වෙනස් කරනවා”!
මෙම ප්‍රකාශය තුළ ඇත්තේ යම් විධානයක් පමණක් නොවේ. කලකිරීම සහ වේදනාව මෙන්ම අනාගත ව්‍යසනයක් පිළිබඳව නිසගයෙන්ම දැනෙන බියද ජනාධිපතිවරයා තුළ ඇතැයි බැලූ බැල්මට පෙනී යන්නේය. ඒ වෙන අන් කිසිවක් නිසා නොවේ. සිංහල සංස්කෘතියේ පැළපදියම් ව ඇති කියමනකින්ම එය අවධාරණය කරන්නේ නම් ”බල්ලාගේ වලිගේ ඇදය උණ පුරුකේ දැමුවද නිවැරදි කල නොහැකි සේ” ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ දැනට පවත්නා අනූඅටක් ව්‍යාධි නම් එතරම් පහසුවෙන් නිවැරදි කල හැකි ඒවා නොවන බවය.
ජනධිපතිවරයා පරිසර දිනයේ දියයුතු ප්‍රධානතම පණිවුඩය පවා අමතක කරමින් මෙලෙස සොඳුරු තර්ජනයක් කිරීමට පසුබිම් වූ කරුණු රාශියක් පවතින අතර ඒවා එකිනෙක සාකච්ජා කිරීම මඟින් අප මෙම ගැටලුවේ කෙතරම් නම් ගැඹුරු අගාධයක සිරවී ඇතිදැයි වටහා ගත හැකිය.
කුඩා පරිමාණයේ
වරෙක ඊසොප් මේ ලීවේය. ‘We hang the petty thieves and appoint the great ones to public office”. Public Office යන්න ජනරජයේ නිලවරම යටතේ මහජනතාව අභියස දරන වගකීම ඔස්සේ ඉටුකරන රාජකාරිමය බැඳීමක් වන්නේ නම් ඊසොප් මේ කියා ඇත්තේ දේශපාලකයන් හා නිළධාරින් යන දෙපිරිස ම ගැනය. ඉදින් මෙලෙස අප අභිමුව සිටින නිළධාරී බහුතරය ද අපහට එල්ලා දමන්නට අතපසු වූ පිරිසේ අවශේෂ ගණයා යැයි කීම ඉතා නිවැරදිය.
AKD ට චෞරතන්ත්‍රවාදයේ අවසානය සනිටුහන් කල හැකිද?
වර්තමාන ආණ්ඩුව රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම බව හමුවේ දැන් දැන් වින්දිතයෙක් බවට පත්වෙමින් තිබුනද සැබවින්ම එහි වරද ඇත්තේද ඔවුන් අතම බවය ලියුම්කරුගේ අදහස. මෙරට ඉතිහාසයේ යටත් පිරිසෙන් පසුගිය දශක කිහිපයේ පත්වූ ආණ්ඩු අතරින් නිළධරයන් නිසි සේ කළමනාකරණය කිරීමට සමත් විය යුතුව තිබුණු එකම ආණ්ඩුව ජාතික ජනබලවේගය ලෙසින් හැඳින්වීම කිසිසේත්ම අතිශෝක්තියක් නොවනු ඇත. ඊට ආසන්නතම හේතුව වන්නේ වෙන අන් කවරක් හෝ නොවේ. පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අරඹා අදදිනය වන විට මාස 06 යි දවස 17 ක් ගෙවී ගොස් ඇත්තේය. එහෙත් එහෙන් මෙහෙන් යම් යම් කටකතා පැවතියද මෙතෙක් රජයේ ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් සොරකම් කරන කරන ලද බවට වන තහවුරුවක් මෙතෙක් හමුවී නැති වීමයි. ඉන් පැහැදිලි වන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය ඉමහත් ආශාවෙන් නඩත්තු කරන ලද සොරකම සහ අල්ලස කෙරෙහි පැවති අසීමිත කැමැත්ත ඔවුන්ගෙන් තවමත් ප්‍රදර්ශනය වී නැති බවයි. එයම මෙරටේ මාණ්ඩලික සහ විධායක නිළධරයන් කළමනාකරණය කිරීමට සමත් කදිම ආයුධයක් යැයි මා පැවසීම ඔබට විශ්වාස කල හැකිද? දේශපාලකයන් තුළ සොරකම් නොකිරීමට අදාළ අප්‍රකාශිත සම්මුතියක් ඇත්නම් මෙරටේ නිළධර යාන්ත්‍රණය යහමඟට ගැනීම අතේ තියෙන කැඩපතකින් මුහුණ බලනවා වැනි ඉතා පහසු කාර්යයකි. එයට හේතුව අපි චෞරතන්ත්‍රවාදය (Kleptocracy) ලෙස හඳුන්වන සංදර්භය නිර්මාණය වන්නේම දේශපාලක -නිළධර දෙපිරිසේ සාමූහික එකතුවේ ප්‍රතිඵලයක් ලෙස වීමයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය යනු කෙළවරක් සොයා ගත නොහැකි සේ පැටලුණු නූල් බෝලයකි
පරිසර දිනය සහ තවත් දින කිහිපයක් තිස්සෙම ජනාධිපතිවරයා එකම මන්ත්‍රය එනම් රාජ්‍ය සේවකයන් හට නිවැරදි වන ලෙස මෙතරම් අයදින්නේ සහ අනතුරු අඟවන්නේ මන්ද? බොහෝ දෙනෙක් සිතනු ඇත්තේ විධායක ජනාධිපති ධූරයට අමතරව මන්ත්‍රී ධූර 159 ක අසහාය බලයක් මෙන්ම බිම් මට්ටමේ පළාත් පාලන ආයතන 267 ක වැඩි බලයක් තනි පක්ෂයක් ලෙස සපුරා ගනිමින් නැගී සිටින ජාතික ජනබල වේගය රාජ්‍ය සේවය හමුවේ හැසිරෙනු ලබන්නේ නිවට හා බයාදු තැනැත්තෙක් ලෙසය යනුයි. එලෙස සිතන්නට සාමාන්‍ය ජනතාවට ඕනෑ තරම් හේතුද නැත්තේ නොවේ. නිදසුනක් ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් වූ රනිල් වික්‍රමසිංහ මහත්මා වසර 2023 දී පළාත් පාලන ජන්ද විමසීම කල් දැමූ ආකාරය විමසීම වැදගත්ය. ජන්දය පවත්වන්න යැයි ක්‍රමයෙන් නැගී ආ විරෝධතා රැල්ල හමුවේ අනුප්‍රාප්තික ජනපති ඒ සියල්ල පසෙකලා ජන්දය ඉදිරියේ නොපෙණෙන ඉසව්වක් වෙත පාකොට හැරියේය. ඒ රජයේ නිළධරයන් කිහිප දෙනෙකුගේ අශිර්වාදයෙනි. තනතුරු වශයෙන් කියන්නේ නම් එවකට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, රාජ්‍ය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා (සැබවින්ම ඔහු අවිහිංසක මිනිසෙක් වන අතර ඔහුගේ අපාය සහාය උපදේශකවරිය ලෙස ඔහුට ඇප තැන්පතු නොගන්න යැයි උපදෙස් දුන් අතිරේක ලේකම්වරිය අදද එම අමාත්‍යංශයේ යහතින් කල් ගෙවන්නේය. හපුහින්න මහතා දේශපාලකයන් පිනවීමට ඔහුට නිරයේ මඟ පෙන්වූ අතිරේක ලේකම්වරියගේ ව්‍යාජ බස් හමුවේ සදාකාලික වැරදිකරුවෙක් සේ සංතාපයෙන් හා කිසිදා නොනිමෙන වේදනාවෙන් මෙලොව හැර යන්නට ඇත) සහ මුද්‍රණාලයාධිපතිනිය යන අයයි. ඊට අමතර වශයෙන් වක්‍රාකාරව සහය දුන් විදුලි හා බලශක්ති මෙන්ම ඛනිජතෙල් වැනි අමාත්‍යංශවල ලේකම්වරුන්ද එක්ව ගත්කල කිහිප දෙනෙකි.
එසේනම් ජාතික ජනබලවේගයට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන්ගේ රෝග නිධානය සොයනවාට වඩා එක් නිර්දේශයක් කිරීමට කැමැත්තෙමි. එනම් වහාම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙක් මෙන්ම අදවන විට අති සාර්ථක ගොවියෙක් හා කුඩා පරිමාණ ව්‍යවසායකත්ව මනසකින් කටයුතු කරන ජිනසිරි දඩල්ලගේ රාජ්‍ය සේවය ගැන ලියා ඇති පොත කියවන ලෙසයි. එහි නම ”ඒවා මෙහේ බෑ මචං ” ය. පොත හඳුන්වා ඇත්තේ ප්‍රතිපත්ති අත්දැකීම් විචාරයක් ලෙසය.
ඔහු තම ග්‍රන්ථය තුළ පුනරුච්චාරණය කරන එක් අදහසක් වන්නේ ශ්‍රී ලංකාවේද කැනඩාවේ හෝ ඊට සමාන්තර වෙනත් රටක සේ විවුර්ත රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාවේ පවත්වා ගත යුතු බවය. එහෙත් අදවන ශ්‍රී ලංකාවේ ඇත්තේ එක් එක් සේවයට හිලව් වූ විපරීත රාජ්‍ය සේවයක් වන අතර සේවාවන් (Services) කීයක් රටේ පවතීදැයි සරසවි ඇදුරෙක් පවා දන්නේ දැයි යන්න සැක සහිතය. දඩල්ලගේ මහතා පවසන්නේ මෙරටේ සේවා ව්‍යවස්ථා 50 කටත් වඩා ඇති බවයි. ඊට අනුයාතව ඒ ඒ සේවාවන් සඳහා බඳවා ගැනීමේ පරිපාටීන් 2000 කට වඩා ඇති බව පැවසීම ඔබ පුදුමයට පත් නොකරන්නේද?
එපමණක් නම් මදෑ . පරිපාලන සේවයේ එවුන් තමන් උසස් යැයි හැමතැනම කියා ගන්නා අතර සෑම තැනකම ඔවුන් තමන්ට හිමි විශාල පංගුවක් වෙන් කරගන්නේය. මීට ප්‍රතිප්‍රහාර දීම සඳහා අනෙක් සේවාවන් වල ඇත්තෝ තමතමන්ට ආවේනික බංකර වල සිට වරින්වර ගරිල්ලා ප්‍රහාර එල්ල කරන්නේය. මෙබැව් දන්නා දඩල්ලගේ මැතිදා වැඩි දුරටත් දක්වන්නේ කැනඩාවේ ඇත්තේ රාජ්‍ය සේවාවන් දෙකක් පමණක් බවත් එය හඳුන්වන්නේ In -Service සහ Out of the Service බවත්ය. මෙවැනි සුහුරු (Smart) ක්‍රමවේදයක අවසන් ප්‍රතිඵලය කුමක් විය හැකිද? රාජ්‍ය සේවය සඳහා ඕනෑම පුරවැසියෙකුට තරගකාරී මට්ටමින් ප්‍රවිෂ්ඨ වීමට ඉඩහසර විවර වීමයි. එහෙත් අපගේ සිදුවී ඇත්තේ ඉතා ඉහළ හා තරගකාරී විභාග ක්‍රමයක් යටතේ ඉදිරියට පැමිණෙන මාණ්ඩලික සහ විධායක ශ්‍රේණිවල නිළධාරීන් අලස හා මහන්තත්වයෙන් හිස් උදුම්මා ගත් වෙනස් සමාජ කුලකයක උන්නතිකාමීන් සේ හැසිරීමයි.
මෙබැව් කදිමට දත් වරෙක පරිපාලන සේවයේ සිටි ඉහළ නිළධරයෙක් මෙන්ම සම්මානලාභී ලේඛකයෙක් ද වූ ලීල් ගුණසේකර කදිම නවකතාවක් ලියා ඇත්තේය. 60 දශකයේදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලත් ”පෙත්සම” නම් එම නවකතාවේ සඳහන් කරන එක් පද්‍යයක් පහත දැක්වේ.
උඩබැලුවත් නිල් අහස පෙනෙන්නේ – බිම බැලුවාත් මහා පොලොව පෙනෙන්නේ
මේ දෙක අතරෙයි අපි තෙරපෙන්නේ -අයියනි දෙවියනි ඇයි නොබලන්නේ
අද කියා ද වෙනසක් නැත . 60 දශකයේ සිදුවූවා සේම ආරච්චිලාගේ සිට දිසාපති හාමුදුරුවෝ දක්වාම ජනතා සේවය ලෙසින් වරනගන්නේ තමන්ගේ අයිතිවාසිකම් සහ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා චක්‍රලේඛ මත්තේ දවා හළු කිරීම මිසක් වෙන අන් කවරක්ද? තමන්ගේ වචන චක්‍රලේඛ වියයුතු යැයි යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසීම හාස්‍යයට ලක්කොට ඊට අප තරයේ විරුද්ධ වූ බව සැබෑය. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි. එහෙත් අප අමතක නොකළ යුත්තේ ඔහුද රාජ්‍ය සේවය නම් දැති රෝද අස්සේ සිරවී සිටි බවත් වෙන අන් කරන්නට දෙයක් නොමැති තැන එලෙස ප්‍රකාශ කල බවත්ය.
දැන් කොකාට වාරයක් නම් තිත්තයාට දෙවාරයක් ඇති බව AKD තහවුරු කල යුතුය
දැන් එකී ප්‍රකාශය විවේචනය කල AKD ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ලෝකයේ සියලු බර දරන ඇට්ලස් දෙවියන් සේ තම දෙවුරට ගෙන වරින්වර ප්‍රකාශ නිකුත් කල යුතු නැත. ඊට අවැසි මඟ කියාදෙන ලේඛනයක් ඇත්තේය. ඊට පවසන නම නම් ”පොහොසත් රටක් -ලස්සන ජිවිතයක්” යන්නයි (A Thriving Nation – A Beautiful Life”). එහි 04:2 පරිචේදයේ ,195 පිටුවේ සඳහන් වන්නේ කුමක්දැයි පළමුව පලවත්තද, දෙවනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින අතිරේක ලේකම්වරුන් ද, තෙවනුව සමස්ත රාජ්‍ය සේවයද වටහා ගත යුතුය.
එහෙත් අනාගතය (රාජ්‍ය සේවයේ) සැළසුම් කරන්නට AKD අසමත්ව ඇත්තේය. ඊට හේතුව ඔබ දන්නේද? හේතුව නම් එම ලේඛනය යථාර්තවාදී ප්‍රායෝගික ලේඛනයක් කිරීමට උරදිය යුත්තේද රාජ්‍ය සේවය වීමයි. එහෙත් රාජ්‍ය සේවයේ බහුතරය එවැනි ලේඛනයක් ඇතැයි කියා දන්නේද නැත. දන්නෝ සිටිත්නම් ඔවුන් දන්නේ එක්කෝ මහින්ද චින්තනය ගැනය . නැත්නම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ගැනය. රජයේ නිල ප්‍රතිපත්තිය NPP මැතිවරණ ප්‍රකාශය බැවින් එය කටපාඩම් කොට වැඩ කරන්න යැයි පැවසීම කිසිසේත්ම රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමක් නොවේ. එසේ නැතිවුනොත් AKD ගේ නොනවතින කතා අසන්නට වන්නේ අපටය. එබැවින් AKD ඇතුළු NPP ආණ්ඩුව කලයුතු එක් කාර්යයක් වන්නේ මිත්‍රශීලි රාජ්‍ය සේවයක් සහ පොදුවේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහිකර ගැනීමට අවශ්‍ය යම් ආකාරයක කොමිසමක් හෝ කමිටුවක් ඇති කොට එහි නිර්දේශ ලබාගැනීමයි. (අදවනවිට අපි කිසිවෙක් අපේ රාජ්‍ය සේවය නම් සුදු අලියා පිට නැගී සිටින සේවකයන් සහ නිළධරයන් සංඛ්‍යාව කියක්දයි නොදන්නෙමු). අනතුරුව නොබියව එම නිර්දේශ ක්‍රියාවට නැගීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කල යුතුය. මෙම ලියුම්කරුද 09 වැනි පාර්ලිමේන්තුව මඟින් බිහිකළ රාජ්‍ය සේවය මිත්‍රශීලි එකක් කිරීමේ කමිටුවක සාමාජිකත්වය දැරීය . එහෙත් හදිසියේ ආණ්ඩුව වෙනස් වීම නිසා මැතිවරණයත් සමග ඒ වෑයම මඟ හැරිණි . එබැවින් දැන්වත් එය ක්‍රියාවට නගමින් අධිකව ප්‍රසාරණය වී ඇති රාජ්‍ය සේවය යම් තර්කානුකූල පදනමකින් සංකෝචනය කිරීමට කටයුතු කල යුතුය .
මේ සියල්ල කිරීමට නම් පළමුව AKD, තැපැල් ජන්දදායකයන්ට බිය නොවී සිටිය යුතුය. ඊළඟ ආණ්ඩුව ගැන සිතන කිසිම පාලකයෙක් හට මෙරටේ රාජ්‍ය සේවය නගා සිටුවිය නොහැකිය . තමන් පරාජයට පත් වේයැයි සිතා වැඩේට අත ගැසිය යුතුය . ඒ දිරිය හා ශක්තිය එන්නත් කරන්නට AKD ට දැන් තියෙන බලයට අමතරව පළාත් සභා ජයග්‍රහණය ද අවශ්‍ය දැයි අපි නොදන්නෙමු.
