සාර්ථක පොල් ඵලදාවක් ගන්නේ මෙහෙමයි
- 5opn1
- November 3, 2024
- ව්‍යාපාරික පුවත්
- සාර්ථක පොල් ඵලදාවක් ගන්නේ මෙහෙමයි
- 0 Comments
පොල් ගෙඩියේ වටප්‍රමාණය මැන ඒ අනුව මිල නියම කළ කාලයක් ද අපේ මතකයේ ඇත. මේ දිනවල වෙළෙදපොළේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල ඉහළ ය. මේ සම්බන්ධයෙන් පොල් සංවර්ධන නිලධාරීන් සහ පොල් වගාකරුවන් කිහිප දෙනෙකු අප සමඟ අදහස් දැක්වූයේ මෙසේය.
හොඳින් වැඩුණු සාරවත් පොල් ගසක ආයුෂ වසර 90ක් 110ක් පමණ යැයි පොල් පර්යේෂණ වාර්තාවලින් පෙන්වා දී තිබේ. පසුගිය කාලයේ එක රැල්ලට පොල් ඉඩම් කට්ටි කර ඵල දරන පොල්ගස් මහපොළවට සමතලා කර දැමූ ලෑන්ඩ් සේල් ජාවාරමටද තිත තබා ඇති බව පෙනේ. පොල් ඉඩම් කැබලි කර විකිණීමද රට තුළ පවතින පොල් හිඟයට හේතුවකි.
ලෝකයේ පොල් වගා කරන රටවල් අතර
ශ්‍රී ලංකාවට සිවුවන ස්ථානය හිමි වී ඇති අතර ඉන් පළමු ස්ථානය ඉන්දුනීසියාවටත් දෙවන ස්ථානය පිලිපීනයටත් තුන්වන ස්ථානය ඉන්දියාවටත් හිමි ය.
පොල් වගාව සම්බන්ධයෙන් හසළ දැනුමක් සහිත පිරිස මෙන්ම පොල්වගා කිරීමේ නිලධාරීන් සහ පොල් සංවර්ධන නිලධාරීන් පෙන්වා දෙන කරුණු අනුව ඔවුන් වසරකට පොල් පැළ දෙලක්ෂයක් අපේ රටේ කුමන හෝ භූමියක සිටුවා රැක බලා ගනී. පොල් වගා කිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය එම කාර්යයට උර දෙති.
ඒ පිළිබඳ ගම්පහ දිස්ත්‍රික් පොල් සංවර්ධන නිලධාරී සමන් හේරත් මහතාගෙන් විමසුවෙමු.
” ජාත්‍යන්තර පොල් දිනය පසුගිය ඔක්තෝම්බර් දෙවැනි දා අපි ඉහළින්ම සැමරුවා. වෙන කිසිම ගසකට ජාත්‍යන්තර සැමරුම් දිනයක් නැහැ. ඒත් ලොව පුරා පොල් වගාකිරිමේ රටවල් එක්ව ජාත්‍යන්තර පොල් දිනය සමරනවා.
ඩොලර් උල්පතක්
පොල් ගසෙන් අපිට ලැබෙන පොල් වතුර පොල් මදය, පොල් කට්ට, පොල් ලෙල්ල මෙන්ම, කොහුබත්ද මේ වන විට අපේ රටට ඩොලර් මවන උල්පත් බවට පත් වෙලා තියෙනවා. ලොව පුරා දියුණු රටවල් අද අපි පොල්ලෙලි කැබලි වගේම කොහුබත් ඔවුන්ගේ රටට එවනතුරු බලා ඉන්නවා. මොකද ඒ රටවල එළවළු වගා කරන ග්‍රීන් හවුස්වල පොල් ලෙලි කැබලි බහාලුම් තුළ තමයි එළවළු බෙල්පෙපර්, ගෝවාමල් වගේම පලා වර්ගත් වගා කරන්නේ. ඒවා ඔරිගානික් කියන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය අනුවයි වගා කරන්නේ. අපි පොල් ලෙලි ටික යැව්වේ නැත්නම් ඔවුන්ට පෝෂ්‍යදායි ආහාර වගා කර ගැනීමට හැකියාවක් නැහැ.
රටේ ඩොලර් හිඟයට විසදුම් හොයන්න කලින් පුරවැසියන් ගේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය පොල් ටික අඩු නැතුව ලබා දීම පාලකයන්ගේ වගකීම බව ඔබ තර්කානුකූලව ප්‍රශ්න කරාවි.
නමුත් මේ වන විට ආර්ථික අතින් කඩා වැටී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් යළි හිස ඔසවන රටක් ලෙස ඩොලර් සෙවීම අපේ මූලික වගකීමක්. මෙය පුරවැසියන් ලෙස ඉටු කළ යුතු වගකීමක්.
මේ සදහා මූලික දායකත්වය ලබා දෙන පොල් වගාකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයත් පොල් ආශ්‍රිතව නිපදවන සියලුම ආහාර පාන වර්ගත් අපනයනය කිරීමේ ආයතන විසින් ලොව පුරා ජනතාවගේ පරිභෝජනය පිණිස අපනයනය කරනවා. මේ අතරින් පොල් වතුර ඉතාම ආරක්ෂිත ක්‍රමවේද අනුව පැකට් කර ශ්‍රී ලාංකීය ලේබලය යටතේ පිටරට යවනවා. ඒ වගේම කාලයෙන් කාලයට ලොව පුරා ප්‍රචලිත වන පාන වර්ග අතරට මේ කාලයේ තියෙන ඉල්ලුම තමයි පොල් වතුර. ලෝකේ විශාල ධනවත් බලවත් රටවල ජනතාව දැන් ඔවුන්ගේ සෞඛ්‍යමය පානය වශයෙන් පොල්වතුර අවිවාදයෙන් පිළිඅරගෙන තියෙනවා. මේ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා මෙච්චර දවසක් අපතේ ඇරපු කානුවලට හලපු පොල් වතුර පිටරට යවලා රටට ඩොලර් ගේන්න දායකත්වය දෙන්න.
පොල්කටුවලින් සක්‍රීය කාබන්
පොල්ලෙලි, කොහුබත් සහ පොල්කටු අඟුරුවලින් නිපදවන සක්‍රිය කාබන් මේ අතරට එකතුවෙන තවත් අපනයන භාණ්ඩ. සක්‍රිය කාබන් කියන්නේ පොල්කටු අඟුරු පුච්චලා ලැබෙන අඟුරු නැවත පුච්චපුවම ලැබෙන වටිනා දෙයක්.
ඔබේ ගෙවත්තේ අතන මෙතන දමා තියෙන පොල්කටු එක්රැස් කර ඒවා එකතු කිරීමට එන පුද්ගලයන්ට දීමෙන් ඔබත් රටට ඩොලර් සපයන්න දායක වනවා. ඒ වගේම ඩෙංගු රෝගය වගේ භයානක රෝගවලිනුත් අපි ආරක්ෂා වෙනවා.
ජලය අපිට තිබුණට අපේ රටේ හැම ප්‍රදේශයකම තියෙන ජලය පිරිසුදු නොකර පානීය ජලය ලෙස බීමට ගන්න බැහැ. සක්‍රිය කාබන්වලින් ජලය පවිත්‍ර කරන්න පුළුවන් බව විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. මේ සක්‍රිය කාබන් තමයි ජලය පිරිසුදු කරන ෆිල්ටර්වලට යොදන්නේ. ඒ වගේම ජංගම දුරකතනවල සිම් පත් හදන්නත් සක්‍රිය කාබන් යොදා ගන්නවා.
ඉස්සර කාලේ ගස් කපලා ඒ දරවලින් අඟුරු ගත්තා. දැන් අපි ගස් කැපීම නවත්තලා පොල්කටුවලින් ඒ අවශ්‍යතාව සපුරා ගන්නවා.
අලුත් අවුරුදු නැකතට වත්තේ ළිඳ එක්ක ගනුදෙනු කරපු අම්මලා ළිඳට අඟුරු කැබලි කීපයක් දැම්මා. ඒ කාලේ දර අඟුරු කොළපු අඟුරු පුච්චලා නිවලා අරගෙන තමයි අපි දත් මැද්දේ. අදත් දත් බෙහෙත් හදන්න අඟුරු යොදා ගන්නවා. චාකෝල් කියන්නේ අඟුරුවලට. අතීත ගෘහණියන් ළිඳට අඟුරු කැබලි දැම්මෙ ඇයි කියලා අද අපිට අවබෝධ වනවා.
එමෙන්ම, පොල් මදය පොල්තෙල් වගේම පොල් කටුව විතරක් නෙවි පොල් ලෙල්ලත් අද අපේ රටට ඩොලර් ගේන ආදායම් මාර්ගයක් බවට පත්වෙලා තියෙනවා. වසරකට ඩොලර් මිලියන 700/800ක් පොල් ආශ්‍රිත කර්මාන්ත තුළින් අපි රටට ගේනවා. ඒක රටක් වශයෙන් අපිට සතුටුවිය හැකි කරුණක්.
ඔරිගානික් ක්‍රමවේදය විදේශිකයන් ඉහළින්ම පිළි ගන්නවා. ඔවුන් ඉතාම රුචියක් දක්වනවා. මේ ඔරිගානික් ක්‍රමයට වගා කරපු එළවළු පලතුරු ආහාරයට ගන්න.
විසඳුම්
ඔබට මතකද පසුගිය 2023 වසරේ අපි දරාගන්න බැරි වියළි කාලයකට මුහුණ දුන්නා කියලා. ඒක තමයි මූලික හේතුව මේ වසරේ දැනට ඔබ මුහුණ දී තිබෙන පොල් හිඟයට.
පොල් ගහකට දවසකට වතුර ලීටර් 60/70ක් අවශ්‍යයි. පොල් ගහක් හැම මාසෙකම පොල් අත්තක් පොල් මලක් අපිට තෑගි කරනවානේ.
පොල් ගහ කියන්නේ දවසට කිරි බෝතල් පහක් හයක් ලබාදෙන කිරි එළදෙනක් වගේ කප් රුකක්.
ඉතිං අපි ඒකෙ අගය නොදැන පොල් ගහ උඩ වාඩිවෙලා ඉන්නවා. හිතුණු ගමන් කපා දානවා. වතුර ටිකක් නොබී අපිට එක පැයක් ඉන්න පුළුවන්ද? ආහාර නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද? ගහක් කියන්නෙත් ප්‍රාණයක්. නැත්නම් කොහොමද ඵල දරන්නේ. මෙතනයි අපිට වැරදුණේ. ගහ ගැන නොසලකා හැර ගහෙන් සාර්ථක ඵල බලාපොරොත්තු වනවා. එමෙන්ම සතුන්ගෙන් සිදුවන හානි නිසා වසරකට පොල්ගෙඩි විශාල ප්‍රමාණයක් අහිමි වනවා. වල් ඌරන්, රිලවුන්, දඩුලේනුන්, කුරුමිණි වැනි සතුන් පොල් වගාවට හානි කරනවා.
ඔබේ ගෙවත්තේ තියෙන මේ කප් රුකට පායන කාලෙදි වතුර ලීටර් 60/70 දාන්න. පොල් ගසේ මුල ඉඳලා අඩි එකහමාරක පමණ දුරින් කානුවක හැඩයේ වළක් හාරලා වත්තේ දිරා යන පොල් ලෙලි අතුරන්න. පොල් අතුවලින් පොල් මුල ආවරණය කරන්න.
ඔබේ ගෙවත්තේ වයස් ගතවෙලා මැරෙන සෑම පොල්ගසක් වෙනුවෙන්ම ඒ ස්ථානයේ තවත් ගහක් සිටුවන්න.
පොල් කුරුමිණි රෝගය ඇතුළු පොල් ගහට වැලඳෙන විවිධ රෝගවලදී අපි පොල්වගා කරුවන්ට ඒ සඳහා උපදෙස් මෙන්ම අවශ්‍ය තාක්ෂණික උපකරණ පවා ලබා දෙනවා. ඒ වගේම පොල් සංවර්ධන මණ්ඩලය හිස් ඉඩම්වල පොල් වගා කිරීමට ඉතාම අඩු පොලියකට ණය මුදලක් ලබා දෙනවා. ඔබේ ඉඩමේ පොල් වගා කිරීමට අවශ්‍ය නම් අපි ඒ සඳහා උපදෙස් වගේම ණය මුදලකුත් එක්ක පහසුකම් සපයා දෙනවා. අපේ උත්සාහය වෙන්නේ ලංකාව පොල් වගා කිරීමේ රටවල් අතර තියෙන හතරවන ස්ථානයෙන් තවත් ඉහළට ගෙනියන්න…” යැයි සමන් හේරත් මහතා පැවැසී ය.
කැලණිය – කේ. එස්. හැන්නදි