සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්න
කැනඩා ද්‍රවිඩ කොංග්‍රසයෙන් ඉල්ලීම් රැසක් සමග ජනපතිට ලිපියක්ඉතිරිව සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසය ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් එවා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගය දිනූ විජයග්‍රහණයට කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසයෙන් සුබ පැතුම් පිරිනමා තිබෙන අතර, විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොංග්‍රසයේ සභාපති කුමාර රත්නම් ප්‍රකාශ කර ඇත්තේ එය ශ්‍රී ලංකාවේ දැවැන්ත දේශපාලනික දිශානතියකට පරිවර්තනය කිරීමට සාධනීය උත්සහායක් දරා ඇති බවයි.

එම ලිපිය මගින් ඔවුන් ඉදිරිපත් කර ඉල්ලීම් මෙසේය.

ඔබේ ප්‍රචාරක ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්න.

මේ වනවිට උතුරු සහ නැගෙනහිර පළාත්වල ශ්‍රී ලංකා හමුදාව විසින් යටත් කරගෙන සිටින සියලුම පෞද්ගලික ඉඩම් ආපසු ලබාදීම සහ තවදුරටත් නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් නතර කරන්න.

දෙමළ ජනයාගේ සංස්කෘතික හා ආගමික උරුමයන් සුරැකීම සහතික කිරීම සඳහා ඔවුන්ගේ ආගමික ස්ථාන ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කිරීම සහ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම වැළැක්වීම මගින් දෙමළ ජනතාවගේ ආගමික අයිතිවාසිකම් තහවුරු කරන්න.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාවට නංවා සියලු ජන කොටස් පිළිගන්නා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන තෙක් පළාත් සභා මැතිවරණය නොපමාව පවත්වන්න.

පළාත් පාලනය සහතික කිරීමට සහ කලාප සවිබල ගැන්වීම සඳහා බලය බෙදා හැරීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සලකන්න.

උතුරු හා නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශය ප්‍රතිසංස්කරණය කිරීම, එය රටේ සෙසු ප්‍රදේශවලට අනුකූල මට්ටමට ගෙන ඒම.

ගොවිපොළවල්, හෝටල් සහ බේකරි වැනි වාණිජ කටයුතු සඳහා හමුදාවේ මැදිහත්වීම දේශීය ව්‍යවසාය අඩාල කරන බැවින් එය නතර කරන්න.

චතුර පමුණුව

 

Leave A Comment