සෝභිත හාමුදුරුවෝ ආවේගයකින් කිව්ව “මහ හෙණය”  පැරදිවීමට හැකිවෙයිද? – මහාචාර්ය සරත් විජේසූරිය

අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ 83 වන ඡන්ම දින සැමරුම් උත්සවයේ දී මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැත් වූ කතාව ඇසුරිනි.

සැබෑ ගෞරවයකින් අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ අනුස්මරණය කිරීමේ කටයුත්ත විවිධාකරයෙන් ඉටුකරමින්, නායකත්වය දෙමින් මේ දක්වා කර තිබෙන්නේ කරු ජයසූරිය මහත්මයා. බොහෝ උදවියට අද සෝභිත හිමියන්ගේ කාර්යභාරය අමතක වෙලා තිබෙන්නේ. ඒක සමහර විට අපේ සමාජයේ, සංස්කෘතියේ හැටි ද මම දන්නේ නැහැ.

සෝභිත හාමුදුරුවෝ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ගොඩනඟලා, ඉතාම ඓතිහාසික, සමාජ, දේශපාලන කාර්යභාරයකට අත්තිවාරම දැමුවා. ඒ පිළිබඳව ටිකක් දීර්ඝව, ශාස්ත්‍රීය වශයෙන් අපි සාකච්ඡා කරලා, ලේඛනගත කිරීම අවශ්‍යයි. මා ඉතාම කෙටියෙන්, කරුණක් දෙකක් පමණයි මේ අවස්ථාවේ පවසන්න කැමැති වෙන්නේ.

| මහාචාර්ය සරත් විජේසූරිය
| මහාචාර්ය සරත් විජේසූරිය

මහ හෙණය පරදවමු

සෝභිත හාමුදුරුවෝ කිව්ව කරුණු දෙකක් මට මතක් වෙනවා. එකක් තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය ගැන උන් වහන්සේ කිව්ව කතාව “මහත්තයෝ ඕක හරි වස පුටුව. ඔය පුුටුවේ වාඩි වෙච්චි හැටියේ යමක් කරගත්තොත් තමයි. කල් ගියොත් නම් මුකුත්ම වෙන්නේ නැහැ”කියලා උන් වහන්සේ කිව්වා.

සෝභිත හාමුදුරුවෝ මේ කතාව ටිකක් උපහාසයකින් කිව්වට මෑත ඉතිහාසයේ ඒක තමයි හැමදාම වෙලා තියෙන්නේ.

රාජ්‍ය බලය ලබා ගැනීමට මේ විධායක ජනාධිපති පදවිය අහෝසි කරනවා කියන ප්‍රතිඥාව හැම කෙනෙක්ම දෙනවා. හැබැයි ඒ වෙනුවෙන් අවංකව කැපවෙන්නේ නැහැ. මේක බරපතළ කාර්යයභාරයක්.

අනෙක් කරුණ තමයි, සෝභිත හාමුදුරුවෝ ටිකක් ආවේගයකින් කිව්ව කතාවක් තමයි “මහ හෙණය පරදවමු”  කියන කතාව. උන් වහන්සේ පවසා සිටියේ, මේ බලය එක පුද්ගලයෙක් අත කේන්ද්‍රගත වීම කියන එක නිසා සමාජ සාධාරණත්වය ඉටුවෙන්නේ නැහැ, නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙනවා, සම්පත් සමසේ බෙදා හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ පිළිබඳ සෑහෙන අවබෝධයකින් සෝභිත හිමියෝ හිටියා.

එක්තරා අවස්ථාවක ඇත්ත වශයෙන්ම යහපාලන ආණ්ඩුව බිහිවුණ අවස්ථාවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයෝ දෙන්නවම කැඳවලා “දස වැදෑරුම් යෝජනාවලියක්” උන් වහන්සේ ඉදිරිපත් කළා. ඒ යෝජනාවලිය ඉටුකරන බවට මේ නායකයෝ දෙපළම ප්‍රතිඥා දුන්නා. ඒත් ඒ එක යෝජනාවක්වත් යථාර්ථයක් බවට පත්කරන්න ඔවුන් දෙදෙනා කටයුතු කළේ නැහැ.

| “සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ගොඩනැගීම” සඳහා දායකවූ පළමු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අත්සන් සහිත පුවත්පත් දැන්වීම
| “සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ගොඩනැගීම” සඳහා දායකවූ පළමු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අත්සන් සහිත පුවත්පත් දැන්වීම

නීතියේ ආධිපත්‍ය තහවුරු කළ සමාජයක්

සෝභිත හාමුදුරුවෝ පෙන්වා දුන් වැදගත්ම දේ තමයි, සාධාරණ සමාජයක් ගොඩනැගීමට නම් නීතියේ ආධිපත්‍ය තහවුරු විය යුතුයි. නීතිය මත පාලනයක් රටේ ගොඩනැගිය යුතුයි. නමුත් මේ විධායක ජනාධිපති ක්‍රමය තිබෙන තුරා නීතියේ පාලනයක් මේ රටේ ස්ථාපිත කළ නොහැකි බවයි උන් වහන්සේ දැරූ මතය වුණේ. ඒ මතය නිවැරදි බව අද ඕනෑවටත් වඩා සනාථ වෙලා තිබෙනවා.

අද අපි මේ ගත කරන අවස්ථාව දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවක් බව මට හිතෙනවා. රාජ්‍ය බලය ලබා ගැනීම සහ රාජ්‍ය පාලනය දෙකක් බව අපිට නැවත වතාවක් සනාථ වෙලා තිබෙනවා. යහපාලනයක් ප්‍රතිස්ථාපනය කිරීමේ දී මහජනයාව ආමන්ත්‍රණය කරනකොට මහජනයා ඊට ඇහුම්කන් දුන්නා. බහුතර ජනවරමකින් පොදු අපේක්ෂකයෙක්ව බලයට පත් කළා. ඔහු විශාල වශයෙන් විශ්වාසය තහවුරු කරමින් ප්‍රතිඥා දුන්නා. ඒත් සෝභිත හාමුරුවෝ කිව්ව ආකාරයෙන්ම ඔහු ඒ පොරොන්දු ප්‍රතිඥාවලට සපුරා පටහැනි ආකාරයෙන් තමයි කටයුතු කළේ. මේ රටේ නීතියේ ආධිපත්‍ය, නීතියේ පාලනය ප්‍රතිස්ථාපනය කිරීමට තිබුණු ස්වර්ණමය අවස්ථාව තමයි ඒක. ඒ වෙලාවේ ලෝකයේ සෑම රටක්ම අපට උදව් කිරීමට සූදානම් වුණා.

ජාතික සමඟිය වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නට, දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමට මේ රටේ දැන උගත් ප්‍රජාව විශාල කැපවීමක් කළා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න රටපුරා ගිහින් මහජනතාවගේ අදහස් ලබාගෙන විශාල වාර්තාවක් පිළියෙළ කළා. නමුත් ඒවා සේරම කාලයේ වැලිතලාවට යටවෙලා ගියා.

2015 දී මග හැරුණු ස්වර්ණමය අවස්ථාව

මම අවංකව කල්පනා කරනවා 2015 දී සෝභිත හාමුරුවෝ කල්පනා කළ විදිහට, අපේක්ෂා කළ විදිහට, කරු ජයසූරිය මැතිතුමාව පොදු අපේක්ෂකයා ලෙස පත්කර ගැනීමට අවස්ථාව ලැබුණා නම් මේ රටේ තත්ත්වය විශාල පරිවර්තනයකට ලක්වෙනවා. එතුමාට බලය කියන සාධකය තම පැවැත්ම වෙනුවෙන් අනවශ්‍ය සාධකයක් ලෙස අපි හඳුනා ගෙන තිබෙනවා. ඒ අවස්ථාව අපට ගිළිහුණා. ඒ වැරදුණු කරුණ තමයි මේ සමාජය මේ තත්ත්වයට පත්වීමට බලපෑවේ.

| ජනාධිපති අනුර කුමාර දිසානායක
| ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනපති අනුර දුන් පොරොන්දුව

වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණයේ දී ඉතාම ප්‍රබලව ප්‍රතිඥා දුන්නා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට. එතුමා ඒ වෙනුවෙන් ඉතාම වැදගත් විදිහට කරුණු කාරණා පැහැදිලි කළා. මේ දේවල් ඉතිහාසයේ සටහන් වෙලා තිබෙනවා.  විද්‍යුත් අවකාශයේ මේ සියලුම දේවල් තිබෙනවා. ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීලා ඉතාම පැහැදිලිව ප්‍රතිඥාවක් දුන්නා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට.

ඔහුට පාර්ලිමේන්තු මැතිවරණයෙන් 2/3ක බලයක් ලැබුණා. අපි සියලු දෙනා තුළම යම්කිසි බලාපොරොත්තුවක් දැල්වුණා දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ජනවරම ලැබුණ නිසා අනුර කුමාර දිසානායක මහතා කල්නොමරා ඊට අදාළ දේශපාලන නායකත්වය ලබා දෙයි කියලා. ඔහු ඒ වෙනුවෙන් ප්‍රතිඥා ලබා දුන්නා. නමුත් දැන් අපට පෙනෙනවා ඒ ප්‍රතිඥා ක්‍රමයෙන් අවපැහැ ගැන්වී ගෙන යන බවට.

මේක එක්තරා ආකාරයකට හරිම සෝචනීය තත්ත්වයක්. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා ජනාධිපතිවරු කිහිප දෙනෙක්ම පත් වුණා. ඒ සියලු දෙනා අතින්ම ඒ ප්‍රතිඥාව ඉටුවුණේ නැහැ. මෙන්න මේක තමයි සෝභිත හාමුදුරුවෝ මේක මහ හෙණය හැටියට හඳුන්වන්නට හේතු වුණේ.

| 2012 ජනවාරි මස 31 දින සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ පැවැත්වූ පළමු රැස්වීමේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සභාව අමතයි
| 2012 ජනවාරි මස 31 දින සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ පැවැත්වූ පළමු රැස්වීමේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සභාව අමතයි

කාලයේ වැලි තලාවට යට වීම

අද අපි දන්නවා සමාජ සාධාරණත්වය සඳහා නීතියේ ආධිපත්‍ය කොතරම් වැදගත් ද?  කියන එක. රටක අපරාධ සිද්ධ වෙනවා, සිද්ධ වුණා. ඒ හැම අපරාධයකටම වගකිව යුතු  පුද්ගලයෙක් ඉන්නවා. නමුත් මේ මෑත ඉතිහාසය තුළ එවැනි පුද්ගලයෙක්ව අනාවරණය වුණේ නැහැ. දේශපාලන අපරාධ සම්බන්ධව පාස්කු ඉරිදා ප්‍රහාරය කියන එක දේශපාලන බලය ලබා ගැනීමට හේතු වුණා. ඇත්ත වශයෙන්ම මේ අපරාධය කළ පුද්ගලයින්ට දඬුවම් කරන බවට කතෝලික ප්‍රජාවට පැහැදිලි ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා. ඒකත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියන ප්‍රතිඥාව විදිහටම කාලයේ වැලිතලාවට යටවෙලා යන බවක් තමයි පෙනී යන්නේ.

අද අපට රාජ්‍ය බලය ලබා ගැනීම සහ රාජ්‍ය පාලනය තුළ බරපතළ අන්තරයක් තිබෙනවා. මේ අන්තරය පියවා ගන්නේ කොහොම ද, ඒකට අවශ්‍ය මානව සම්පත, දේශපාලන නායකත්වය, මොන ආකාරයට ද අවශ්‍ය වන්නේ ඒක ඉවහල් කරගන්න. මම විශ්වාස කරන ආකාරයට මේ සම්බන්ධව මධ්‍යස්ථ කතිකාවක් ගොඩනැගීමට අවශ්‍යයි. අපි ඒ කතිකාව ගොඩනැගිය යුතුයි. ඒත් ඒක ගොඩනැගිය යුතු වන්නේ පුද්ගලික අභිලාෂයන් මත පදනම්ව නොවේ. ඒ සෝභිත හාමුදුරුවෝ තමන්ගේ මුළු ජීවිත කාලය තුළම බලාපොරොත්තු වුණ සාධාරණ සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අඛණ්ඩව මැදිහත් වීමක් හැටියටයි.

| 2012 ජනවාරි මස 31 දින සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ පැවැත්වූ පළමු රැස්වීමේ සහභාගි වූ පුරවැසියන්
| 2012 ජනවාරි මස 31 දින සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ පැවැත්වූ පළමු රැස්වීමේ සහභාගි වූ පුරවැසියන්

සෝභිත හිමිගේ ප්‍රාර්ථනාව ඉටුකරමු

ඒ නිසා මම මේ අවස්ථාවේ මීට වඩා කතා කරන්නේ නැහැ, අපි සියලු දෙනාටම මේ රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් නීතියේ පාලනය ස්ථාපිත කරගැනීමේ වගකීමක් තිබෙනවා. අපි ශක්ති ප්‍රමාණයෙන් මේ වගකීමට දායක විය යුතුයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.

සෝභිත හාමුදුරුවන් අනුස්මරණය කරමින් පමණක් අපට සෑහීමට පත්වීමට පුළුවන්ද? උන් වහන්සේ ප්‍රාර්ථනා කළ සාධාරණ සමාජය වෙනුවෙන් අපේ ශක්ති ප්‍රමාණයෙන් ඉදිරියටත් කටයුතු කළ යුතු නොවේද? කියලයි මම ඔබගෙන් අසා සිටින්නේ.

සටහන – තුෂාල් විතානගේ

 

Leave A Comment