හිටපු අධිකරණ අමාත්‍යවරයකු නිසා, කමිටු සභාපතිවරයෙකු වූ මමත් දැඩි දුෂ්කරතාවකට හා පීඩාවකට මුහුණ දුන්නා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම

  • කමිටු ක්‍රමය හරහා ආණ්ඩුවේ පසුපෙළ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනතාව අතරට යාමට අවස්ථාව ලැබෙනවා

මෑත ඉතිහාසය තුළ බලයට පත් වූ ‘අධි බහුතර බලයක්‘ සහිත එකම ආණ්ඩුව වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුව වීම හේතුවෙන් රාජ්‍ය පාලනයේ බොහෝ අංශ හා අංග යම් ආකාරයක රැඩිකල් වෙනසකට භාජනය වනු ඇතැයි විශ්වාසයක් සමාජය තුළ පවතී. ඒ අනුව පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ද යම් කිසි වෙනසකට ලක් වනු ඇතැයි අපේක්ෂා කරන පිරිසක් සිටින අතර තවත් පිරිසක් යෝජනා කරන්නේ ආණ්ඩුව තම අධි බහුතර බලය හමුවේ කමිටු  / කාරක සභා ක්‍රමය නො සලකා හෝ නො කතා කටයුතු කරනු ඇතැයි බවට ය. මේ තත්ත්වය පුළුල් සමාජ සංවාදයකට ලක් කළ යුුතු බව කල්පනා කළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය 207 වැනි කතිකාව සංවාදයේ දී ‘අධි බහුතර ආණ්ඩු පක්ෂයක් ඇති පාර්ලිමේන්තුවක කමිටු ක්‍රමය සාර්ථක කර ගැනීමේ අභියෝගය‘ සම්බන්ධයෙන් පුළුල් විද්වත් සංවාදයක් කළේ ය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම මධ්‍යගතකරණය වීම’ වැදගත් බව සංවාදයට එක්වෙමින් අජිත් මාන්නප්පෙරුම හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඔහු පෙන්වා දුන්නේ ‘ජනතාවට සේවය කිරීමට, රටට වැඩක් කිරීමට පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට කමිටු ක්‍රමය හරහා සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කරීමට අවස්ථාව හිමිවන නමුත් පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාත්මක වීමේ දී අදාළ විෂයභාර අමාත්‍යවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අතිෂය වැදගත් බවයි. අනවශ්‍ය ලෙස කටයුතු කිරීමට ගියහොත් ගැටලු උද්ගත වන බව ද මාන්නප්පෙරුම මහතා මෙහි දී පෙන්වා දුන්නේ ය.

කාරක සභා විසින් ලබා දෙන නිර්දේශ හෝ නියෝග ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ අදාළ විෂයභාර අමාත්‍යවරයාට පමණය. කමිටු සභාපතිවරයාට එවැනි බලයක් නොමැත. අමාත්‍යාංශයක් භාර කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල වැඩකොටසක් හා වගකීම් රැසක් ඇති තත්ත්වයක් තුළ අමත්‍යාංශයට අයත් කුඩා කුඩා කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාවක් නොලැබෙන බව පෙන්වා දුන් අජිත් මාන්නප්පෙරුම සිද්ධියක ගැඹුරට යාමේ හැකියාව අමාත්‍යවරයෙකුට නොමැති බව ද සඳහන් කළේ ය.

මේ සම්බන්ධ ධනාත්මක හා ඍණාත්මක පැතිකඩ පැහැදිලි කරමින් අජිත් මාන්නප්පෙරුම මහතා වැඩි දුරටත් මෙසේ ද සඳහන් කළේය,  ‘මේකට හේතුව තමයි අමාත්‍යවරයෙකුට මෙවැනි කරුණක් ගැන ගැඹුරින් සොයා බලන්න තරම් ප්‍රමාණවත් කාලයක් නැහැ. ඒ නිසා තවත් මහජන නියෝජිතයින් පිරිසක් හරහා අදාළ කරුණු කාරණා ගැන ගැඹුරින් සොයා බලා අමාත්‍යවරයා දැනුවත් කිරීම වැදගත් වෙනවා. ඒත් මේක සංයමයෙන් කළ යුතුයි. මේ හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට හෝ ආණ්ඩුව අපහසුතාවට, අපකීර්තියට පත් කිරීමට කටයුතු කළහොත් කාරක සභා සාමාජිකයින් සහ අමාත්‍යවරයා අතර ගැටුමක් නිර්මාණය වෙනවා.  ඒ නිසා මගේ අත්දැකීම අනුව මම කියන්නේ කාරක සභාව සහ අමාත්‍යවරයා අතර මනා සම්බන්ධයක්, නිසි අනෝන්‍ය අවබෝධයක් නිර්මාණය වෙනවා නම් ඒක ඉතාම වැදගත් කරුණක්, රටට යහපත් දෙයක් වෙනවා”

මේ සම්බන්ධයෙන් තමාට මිශ්‍ර ප්‍රතිචාර හා අත්දැකීම් ඇති බව සිහිපත් කළ අජිත් මාන්නප්පෙරුම ඇතැම් අවස්ථාවල ‘නීරස’ සහ පීඩාකාරී අත්දැකීම්වලට ද තමා කමිටු සභාපතිවරකෙු වීම හා ඇතැම් කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් සොයා බැලීම හේතුවෙන් මුහුණ දුන් බව ද පෙන්වා දුන්නේ ය.

සෑම අවස්ථාවක ම ඍණාත්මක තත්ත්වයන් නිර්මාණය වන්නේ නැත. කමිටු නිර්දේශ ගැන පැහැදී ඒ අනුව කටයුතු කළ අමාත්‍යවරුන් ද බොහෝ පිරිසක් සිටිති. හිටපු අධිකරණ අමැති අලි සබ්‍රි මහතා එවැනි අමාත්‍යවරයෙක් වන අතර හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ සිය නිලධාරීන්ගේ පැත්ත ගැනීම හේතුවෙන් කමිටු සභාපතිවරයෙකු ලෙස තමා දැඩි දුෂ්කරතාවකට හා පීඩාවකට මුහුණ දුන් බව අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ ය.

‘ඒත් කමිටු සභාපතිවරුන් හා සාමාජිකයින් ලෙස අපි තේරුම් ගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. සමහර කමිටු තිබෙනවා ආණ්ඩුවේ අඩුපාඩු හොයන්න යනවා. ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න පුළුවන් වාර්තා නිකුත් කරනවා. ඒ වැනි තත්ත්වයක් යහපත් නැහැ. නමුත් ආණ්ඩුවට වැදගත්, ධනාත්මක සහායක් ලබා දෙනවා නම් කමිටුවලට පහසුවෙන් හා ගැටුම්වලින් තොරව කටයුතු කළ හැකියි” අජිත් මාන්නප්පෙරුම සිය දීර්ඝ කාලීන අත්දැකීම් උපුටා දක්වමින් පෙන්වා දුන්නේ ය.

කාරක සභා සභාපතිවරයා ද ඒකාධිපතියෙකු නොවී සියලු කමිටු සාමාජිකයින්ගේ අදහස් සහ දක්ෂතා කළමනාකරණය කර ගනිමින් කටයුතු කරන්නේ නම් තත්ත්වය තව දුරටත් යහපත් වන බව මාන්නප්පෙරුම මෙහි දී අවධරණය කළ අතර තව දුරටත් සිය අදහස පැහැදිලි කරමින් මෙසේ ද පැවසුවේය.

‘ආණ්ඩු පක්ෂයේ වේවා, විපක්ෂයේ වේවා කමිටුක සභාපතිවරයෙකු ලෙස හෝ සාමාජිකයෙකු ලෙස කටයුතු කරද්දී අදාළ විෂයභාර අමාත්‍යවරයාගේ සහයෝගය ලබා ගැනීමට හා විශ්වාසය දිනා ගැනීමට සිදුවෙනවා. නමුත් වත්මන් දේශපාලන සංස්කෘතිය තුළ මෙය අසීරුයි. අපේ දේශපාලන සංස්කෘතිය තුළ විපක්ෂය ආණ්ඩුවට ධනාත්මක සහයෝගයක දෙන්නේ නැහැ. මේ තත්ත්වය නිසයි කාරක සභාවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න අසීරු වෙන්නේ”

අමාත්‍යවරුන් බොහෝ අවස්ථාවල නොමඟ යවනු ලබන්නේ ඔහු වටා ගොනුවී සිටින ආත්මාර්ථකාමී, සුදුසුකම් රහිත හෝ අදක්ෂ නිලධාරීන් විසින් බවට චෝදනා කළ අජිත් මාන්නප්පෙරුම, කාරක සභාවක් යමකිසි කරුණක් සම්බන්ධයෙන් ගැඹුරින් කරුණු විමසා බලන අවස්ථාවක මේ ‘කල්ලිය’ සමඟ ඍජු හා තියුණු ගැටුමක් නිර්මාණය වීම බොහෝ දුරට සිදුවන බවත් එම කල්ලිය හෝ කණ්ඩායම ගැන ‘වද වීමේ අවශ්‍යතාවක්’ කමිටුට නැති බවත් සඳහන් කළේ ය.

‘කමිටුවට මේ ලැදියාවන් හෝ හිතවත්කම් අදාළ ම නැහැ. කමිටුව තමන්ට පවරා ඇති කටයුත්ත ගැන ගැඹුරින් සොයා බලනවා. සොයා ගත්ත සියල්ල නියමිත ලෙස ප්‍රකාශයට පත්කරනවා, ශුද්ධ කරනවා. අමාත්‍යවරයෙකුට ආරම්භයේදී මේ තත්ත්වය ‘නීරස’ හෝ හිසරදයක් වෙන්න පුළුවන්. ඒත් යම තරමක හෝ දේශපාලන අවබෝධයක් තිබෙන අමාත්‍යවරයෙක්ට මේක කල් යනවිට ආශිර්වාදයක්, ශක්තියක් වෙන්න පුළුවන්” අජිත් මාන්නප්පෙරුම සිය දේශපලන අත්දැකීම් සහ භාවිතයෙන් ලද අවබෝධය සමඟ පෙන්වා දුන්නේ ය.

කමිටු ක්‍රමය හරහා පසුපෙළ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනතාව අතරට යාමට, මාධ්‍ය හමුවට යාමට අවස්ථාව උදාවන බවත්, විපක්ෂයට පවා ජනතාවට වැදගත් මෙහෙවරක් ඉටු කිරීමට අවස්ථාව හිමිවන බවත් පෙන්වා දුන් අජිත් මාන්නප්පෙරුම, කමිටු ක්‍රමයෙන් ප්‍රයෝජන ගැනීමට අමාත්‍යවරුන්ට ද අවබෝධයක් හා උනන්දුවක් තිබිය යුතු බව ද මෙහි දී අවධාරණය කළේ ය.

‘අමාත්‍යවරුනුත් අවංක විය යුතුයි, යම් තරමකට හෝ අන්මත ඉවසන හෝ අන් අයට අවස්ථාවක් ලබා දීමට තරම් පරිත්‍යාගශීලී විය යුතුයි. එවැනි තත්ත්වයක් තිබුණොත් කමටු ක්‍රමය හරහා අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට පුළුවන්. වත්මන් අධි බහුතර ආණ්ඩුව මේ ගැන නිසි අවධානයක් හා උනන්දුවක් දක්වන්නේ නම් ඒක ආණ්ඩුවට වගේම ජනතාවටත් යහපතක් වේවි’ අජිත් මාන්නප්පෙරුම අවසාන වශයෙන් සඳහන් කළේය.

Tags:

Leave A Comment