
හොර බොරු නාස්ති නැති ආණ්ඩුවක් පළමු වරට රටේ බිහි වුණා
- CNL Reporter
- May 1, 2025
- දේශපාලන
- ජනපති අනුර කුමාර දිසානායක
- 0 Comments
ජනපති අනුර කුමාර දිසානායක වවුනියාවේ දී කියයි
එදා විශ්වාස නොකළ අයත් දැන් ජාජබය විශ්වාස කරනවා
රටේ බලය දැන් පොදු මහජනතාව අතට පත්වෙලා
මේ ප්‍රදේශවල වගා කළ හැකි හැම බිම් අඟලක්ම ජනතාවට ලබාදෙනවා
රට පාලනය කිරීම තමන්ගේ අයිතියක් කියලා හිතන ලොකු පවුල් දැන් දුකෙන් අඬනවා
යාපනයේ තිස්ස විහාරයේ ඉඩම් ප්‍රශ්නය පදිංචි අයටයි හාමුදුරුවන්ටයි බේරගන්න පුළුවන් වුණත් දේශපාලනඥයන් ඊට ඉඩ දෙන්නේ නෑ
ලංකාවේ පළමු වතාවට මහජන මුදල් සොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් නිර්මාණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ‘ජය නියතයි – ගම අපිටයි’ ජනතා රැලි මාලාවේ වවුනියාවේ දී පසුගියදා (26) පැවැති ජන රැලිය අමතමිනි. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය මෙය සංවිධාන කර තිබිණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා –
පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ විශාල දේශපාලන පෙරළියක් සිදු වුණා. ඒක තවත් ශක්තිමත් කරමින් පසුගිය මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයට විශාල බලයක් මේ රටේ ජනතාව ලබා දුන්නා. වන්නි දිස්ත්‍රික්කයෙන් අප විශාල ජයග්‍රහණයක් ලැබුවා. රටේ ජනතාව අපව විශ්වාස කළා. අප ඔබට එකක් කියන්නම්. ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත්ම බිඳ වැටෙන්න අප ඉඩ දෙන්නේ නැහැ. එදා ජාතික ජන බලවේගය විශ්වාස නොකළ පිරිස් අද අප කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරනවා.
පසුගිය මැතිවරණවලදී අප ජනතාවට බොහෝ දේ පොරොන්දු වුණා. ඒ සියල්ල අප ඉටු කරනවා. මේ රටේ ජනතාව අපට විශාල බලයක් ලබා දුන්නෙ ඇයි?. රටේ වෙනසක් කරන්න, රට හදන්න, හොරු අල්ලන්න. සියලු දෙනාට එක හා සමානව සලකන රටක් නිර්මාණය කිරීමට. ජනතාව අපට ඡන්දය දුන්නෙ ඇයි කියා අප හොඳට දන්නවා. ජනතාව සමඟ ඇති කරගත් එම එකඟතාව අප ඉටු කරනවා. අපට ඡන්දය නොදුන්, පරාජය වූ කණ්ඩායමක් ද ඉන්නවා. ඔවුන් දැන් අඬනවා. ඔවුන්ට සිදුවූ දේ පිළිබඳව ඔවුන් දුක් වෙනවා. තමන් මෙසේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරයි කියා ඔවුන් කවදාවත් හිතුවේ නැහැ. මේ රට හැමදාම පාලනය කළේ උඩ සිටින පවුල්. තාත්තල, පුතාල, අම්මල, දුවල, බෑනලා තමයි රට පාලනය කළේ. එම තත්ත්වය දැන් මුළුමනින්ම වෙනස් වෙලා. පසුගිය ජනාධිපතිවරණයේ දී කවුද ඡන්දය ඉල්ලුවේ. ටැලිෆෝනයෙන් හිටපු ජනාධිපතිවරයකුගේ පුතෙක්. පොහොට්ටුවෙන් හිටපු ජනාධිපතිවරයකුගේ පුතෙක්. සිලින්ඩරෙන් හිටපු ජනාධිපතිවරයෙකුගේ බෑනා කෙනෙක්. මම තඹුත්තේගම. හැබැයි සිදුවුණේ මේ රටේ පොදු ජනතාව අතට බලය මාරු වීම. පෙර සිටි කණ්ඩායම හැමදාම සිතුවෙ ඔවුන් මේ රට පාලනය කරනවා කියල. රට පාලනය ඔවුන්ගේ උරුමයක් කියල. රට පාලනය කිරීම ඔවුන්ගේ අයිතියක් කියල. හැබැයි එය දැන් වෙනස් වෙලා. ඒ නිසා ඔවුන් දුකෙන් අඬනවා. අපට ඡන්දය දීපු ජනතාව හොඳ අනාගතයක් පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඔවුන් හදපු ආණ්ඩුව මේ රට හදනවා.
මම එකක් කියන්නම්. ජනතාව ජාතික සමගිය අපෙන් අපේක්ෂා කළා. මෙම ස්ථානයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඉන්නවා. අපේ වේදිකාවේ මහා සංඝරත්නය වැඩ ඉන්නවා. මවුලවිතුමාලා වැඩ ඉන්නවා. කුරුක්කල්තුමාලා ඉන්නවා. පියතුමන්ලා ඉන්නවා. අපි බෙදිල නැහැ. අප එකතුවෙලා ඉන්නවා. මේ රටේ ආයෙ කවදාවත් ගැටුම් ඇති කරන්න, බෙදෙන්න, අසමගිය ඇති කරන්න අප ඉඩ දෙන්නෙ නැහැ. මේ අසමගිය නිර්මාණය කළේ කවුද?. දේශපාලකයො. ඔවුන් තමා අපව බෙදුවෙ. හැමදාම අපේ රටේ තිබුණෙ බෙදුණු දේශපාලනයක්. පසුගිය නොවැම්බර් 14 දින උතුරේ, දකුණේ, නැඟෙනහිර, මුස්ලිම්, දෙමළ, සිංහල ජනතාව මේ රටේ එක දේශපාලන ව්‍යාපාරයක් කෙරෙහි විශ්වාසය තිබ්බා. ඒ අනුවයි ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්නෙ. බෙදුණු දේශපාලනය ජනතාව අවසන් කළා. අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා. අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ කර ගන්න ඉඩ දෙන්නෙ නැහැ. අප සියලු දෙනාම එකට එකතු වී මේ රට හදමු. ජාතිවාදය අවසන්. අප ජාතික සමගිය ගොඩනඟනවා.
උතුරේ බොහෝ දෙනා යුද්ධය නිසා පීඩාවට පත්වුණා. විශාල ඛේදවාචකයක් ඇතිවුණා. යුද්ධය අවසන් වී වසර 16ක් වෙනවා. හැබැයි තවමත් එහි නෂ්ටාවශේෂ තිබෙනවා. තාමත් ජාතිවාදය තැන තැන පැන නඟිනවා. අපි ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ.
ඇතැම් දේශපාලන ව්‍යාපාර ජාතිවාදයට ඉව අල්ලනවා. උතුරු පළාතේ සමහර ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගෙන ප්‍රශ්න මතුවී තිබෙනවා. යාපනයේ තිස්ස විහාරයේ ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. පදිංචි ඉඩම් හිමියන්ටයි, පන්සලේ වැඩ වසන හාමුදුරුවන් වහන්සේලටයි ඒ ප්‍රශ්නය බේරා ගන්න දුන්නොත් බේරා ගන්න පුළුවන්. මේකට ඉඩ නොදෙන්නෙ දේශපාලනඥයන්. ඔවුන් උත්සාහ කරන්නෙ ඒ මතින් ජාතිවාදය ගොඩනඟන්න. උතුරේ පරාජිත දේශපාලනඥයන් එතන ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. දකුණේ පරාජිත දේශපාලනඥයින් එතන ගැටුමක් හදන්න උත්සාහ කරනවා. පැරදුණ දේශපාලනඥයින් නැවත ඉදිරියට එන්න ජාතිවාදය උපයෝගී කර ගන්න හදනවා. අපේ ආණ්ඩුව නැවත ජාතිවාදයට නැඟිටීමට ඉඩ දෙන්නෙ නැහැ. නීති මදිනම් නීති හදනවා. අප ජාතික සමගිය ඇති කරන්න කටයුතු කරනවා.අපි මේ රටේ ආර්ථිකය හදනවා. එය ජාතික සමගියටද විශාල පිම්මක් වෙනවා. පසුගිය කාලයේ මේ රට විශාල ආර්ථික කඩා වැටීමකට ලක් වෙලා තිබුණෙ. අප මේ වන විට ස්ථාවරභාවය හදා තිබෙනවා. අප සැලසුම් කර තිබෙනවා රාජ්‍ය සේවයට තිස්දාහක් ගන්න. පොලීසියට අලුතින් දෙදාහක් ගන්න. අපේ රටේ පොලීසිවල දෙමළ භාෂාවෙන් වැඩ කරන අය ගොඩක් හිඟයි. මේ තත්ත්වය පොලීසියට යන දමිළ ජනතාවට ගැටලුවක් වෙනවා. පොලීසියට දමිළ භාෂාව දන්න නිලධාරීන් අවශ්‍යයි. ඒ නිසා දමිළ දරුවන් පොලිස් සේවයට එක් කරන්න. මේක හොඳ වැටුපක් තිබෙන ගෞරවනීය වෘත්තියක්. පොලීසිය, හමුදාව, රාජ්‍ය සේවය ඇතුළෙ මෙම භාෂා දෙකම කතා කරන අය ඉන්න ඕනෙ. ක්‍රීඩාවේදී අප එකතු වෙන්න ඕනෙ. අපේ පළමු පාලන කාලය තුළ උතුරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදල ජාත්‍යන්තර තරගයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩා මණ්ඩපයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට වාඩිවෙලා ලංකාවේ කණ්ඩායම දිනවන්න එදාට අත්පුඩි ගහනවා. ක්‍රිකට් කණ්ඩායමේද දෙමළ අය සිටිය යුතුයි. මෙම ඔක්තෝබර් මාසෙ සිංහල, දෙමළ, මුස්ලිම් එකතු වී හොඳ ජාතික උත්සවයක් පවත්වමු. ඒ සඳහා මුදල් වෙන්කර තිබෙනවා. උතුරේ අය එහි ගොස් තම සංගීතය, නැටුම, තම සංස්කෘතිය පෙන්වන්න ඕනෙ. දකුණේ සිංහල අයටත් එහෙමයි. මුස්ලිම් අයටත් එහෙමයි. සියලු සංස්කෘතීන් එකම වේදිකාවට ගෙනෙන්න ඕනෙ. මේ රටේ සියලු දෙනා අප එකතු කරන්න ඕනෙ. ඒක අපේ අපේක්ෂාවයි. සියලු දෙනාට සාමයෙන් සිටිය හැකි සංවර්ධිත රටක් අප හදනවා.
දුප්පත්භාවයෙන් ගොඩඑන්න නම් දරුවන්ට හොඳට උගන්වන්න ඕනෙ. දරුවන්ට උගන්වන්න. අප උපරිමයෙන් සහාය දෙන්නම්. අධ්‍යාපනයට අප වැඩි බරක් දානවා. ගුරු හිඟය අවසන් කරනවා. ගොඩනැඟිලි මදිනම් අපේ මන්ත්‍රීවරුන්ට කියන්න. අප ඒවා සාදා දෙන්නම්. යාපනයේ පුස්තකාලයට ඓතිහාසික අපරාධයක් වුණා. ලෝකයේ කොහේවත් ඡන්දයකදී පුස්තකාල ගිනි තිබ්බේ නැහැ. අපි මේ අවුරුද්දේ කෝටි දහයක් පුස්තකාලය ගොඩනඟන්න වෙන් කළා. අවශ්‍ය දේ ඉල්ලන්න. අප මුදල් වෙන් කරන්නම්. තවත් බොහෝ දේ සඳහා අප මුදල් වෙන්කර තිබෙනවා. කෝකිලායි, සාලෙයි පාලම් හදන්න කීවා. ඒවාට මුදල් දෙනවා.ගොවි ජනතාවගේ ජීවිතය නඟාසිටුවන්න ඕනෙ. අප පොහොර සහනාධාරය වැඩි කළා. එළවළුවලට පොහොර සහනාධාරයක් දෙන්න තීරණය කළා. වී ගබඩා ප්‍රතිසංස්කරණය කළා. වී මිලදී ගන්න කෝටි පන්සීයක් දුන්නා. වී මිල අඩු වෙන්න බැහැ. නියම ක්‍රමය හදල තිබෙන්නෙ. අප හඳුනාගෙන තිබෙනවා වගා කළ හැකි ඉඩම්. මේ ප්‍රදේශවල වගා කළ හැකි හැම බිම් අඟලක්ම අප ජනතාවට ලබා දෙනවා. මේ ප්‍රදේශවල තිබෙන කුඩා වැව් ටික ප්‍රතිසංස්කරණය කර දෙන්නම්. වගා කරන අස්වැන්න මිලදී ගන්නම්.
ලංකාවේ පළමු වතාවට සොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් හදල තිබෙනවා. පෙර කාලවල සිදුවුණේ සල්ලි ඔවුන් බෙදා ගැනීමයි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙමු.
උපාලි කරුණාරත්න සහ චමීර ඇල්ලදෙණිය
ඡායාරූප – චන්න ජයවර්ධන